15 වැනි Pre Command Training (PCT) පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්රාවන්ගේ අණභාර ගැනීමට නියමිත නිලධාරීන් වෙනුවෙන් නාවික හමුදා දියත් විධානය විසින් පහලොස් වැනි (15) වරටත් පවත්වනු ලැබූ Pre Command Training පාඨමාලාව, 2026 ඔක්තෝබර් මස 24 වැනි දින ත්රිකුණාමලය නාවික තටාකංගනයේදි සාර්ථකව නිමාවට පත්වූ අතර, එහි සමාප්ති උත්සව අවස්ථාව නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්රධානත්වයෙන් ත්රිකුණාමලය නාවික හා සාගරික විද්යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
2026 ඔක්තෝබර් මස 05 වැනි දින ආරම්භ වූ මෙම පුහුණු පාඨමාලාව සඳහා ජ්යෙෂ්ඨ නිලධාරීන් විසිපස් දෙනෙකු (25) සහභාගී වූ අතර, ඉදිරියේදී නෞකාවන්හි අණදෙන නිලධාරීන් හෝ අණභාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට නියමිත නිලධාරීන්ගේ වෘත්තීය නිපුණත්වය, නායකත්ව හැකියාව සහ අණදීමේ සූදානම වර්ධනය කිරීම මෙහි ප්රධාන අරමුණ විය.
ඒ අනුව, න්යායික හා ප්රායෝගික පුහුණු සැසි, නෞකා ආශ්රිත අභ්යාස සහ සමාකරණ පුහුණු ක්රමවේද ඒකාබද්ධව ක්රියාත්මක කරමින්, මුහුදේදී මෙහෙයුම් සූදානම, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ ඵලදායී අණදීමේ කුසලතා වැඩිදියුණු කිරීම පුහුණුව සඳහා ඇතුලත් විය. නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනාගත අණදෙන නිලධාරීන් ලෙස තම වගකීම් සාර්ථකව ඉටු කිරීම සඳහා අවශ්ය දැනුම, කුසලතා සහ වෘත්තීය නිපුණත්වය තවදුරටත් වර්ධනය කිරීම ද මෙම පාඨමාලාව මඟින් අපේක්ෂා කෙරිණි.
තවද, සමාප්ති උත්සව අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් හරිත ජයදේව, නැගෙනහිර නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්රධානීන්, නෞකා හා යාත්රාවන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ත්රිකුණාමලය නාවික තටාකාංගණයේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.













