268 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ තරුණ තරුණියන් 490ක් නාවික හමුදා පුහුණුව සඳහා එක්වෙයි
ශ්රී ලංකා නාවික හමුදාව වෙත 268 වැනි බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් බඳවා ගැනීම, 2026 ඔක්තෝබර් මස 26, 27 සහ 28 යන තෙදින තුළ සිදු කෙරුණු අතර, තරුණ තරුණියන් හාරසිය අනුදෙනෙකු (490) එහිදී, ආධුනික නාවිකයන් ලෙස පුහුණුව සඳහා නාවික හමුදාවට එක් විය.
නාවික උපායමාර්ගික සැලැස්ම 2030 යටතේ නාවික හමුදාවේ පිරිස් බලය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීම සඳහා නාවික හමුදාවේ සියළු අංශ වෙත නව බඳවා ගැනිම් අඛණ්ඩව සිදුකරනු ලබයි. ඒ අනුව, 268 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ ශ්රී ලංකා නාවික හමුදාවේ නිත්ය හා සේවේච්ඡා අංශ සඳහා අධුනික නාවිකයින් දෙසීය අනුදෙනෙකු (290) සහ ආධුනික කාන්තා නාවිකයින් දෙසීය දෙනෙකු (200) මෙලෙස පුහුණුව සඳහා එක්විය.
තවද, බඳවා ගැනිමේ අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් රවින්ද්ර තිසේරා, නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල වශයෙන් වැඩභාර ගැනිමට නියමිත රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් මෙන්ම, පුහුණුව සඳහා එක් වූ ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් පිරිසක් ද සහභාගී වූහ.













