ක්රියාන්විතයේදී මව්බිම වෙනුවෙන් දිවිපිදු හතරවන වේග ප්රහාරක යාත්රා සමූහයේ වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර
ශ්රි ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්රහාරක යාත්රා සමූහයට අනුයුක්තව ක්රියාන්විත සේවයේ යෙදී සිටියදී, ජීවිත පිරිත්යාගයෙන් කටයුතු කල වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, එම වීරෝධාර රණවිරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් අද දින (2026 ඔක්තෝබර් 31) ත්රීකුණාමලය නාවික තටාකංගනයේ, හතරවන වේග ප්රහාරක යාත්රා සමූහ මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දුගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දසක තුනකට (03) ආසන්න කාලයක් රට වෙලා පැවති ත්රස්තවාදය, මානුෂීය මෙහෙයුමකින් අවසන් කර, මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාව සිදු කල තීරණාත්මක දායකත්වය හමුවේ, ජීවිත පරිත්යාගයෙන් තම යුතුකම ඉටුකල, , හතර වන වේග ප්රහාරක යාත්රා සමූහයේ වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පුදකිරිම වෙනුවෙන්, හතර වන වේග ප්රහාරක යාත්රා සමූහය විසින් අදියර කිහිපයක් යටතේ එම රණවිරු පවුල්වල සාමාජිකයන් සමඟ එක්ව රණවිරු උපහාර වැඩසටහන් පවත්වනු ලබයි.
ඒ අනුව, ත්රස්තවාදයට එරෙහිව හතරවන වේගප්රහාරක යාත්රා සමූහය විසින් සිදුකල වීර වික්රමාන්විත ක්රියාන්විතයන්හිදී, ජීවිත පරිත්යාග කල වීරෝධාර නාවික හමුදා පුද්ගලයින්ගේ මෙහෙවර කෘතවේදීව සිහිපත් කරමින්, 2026 ඔක්තෝබර් මස 30 වැනි දින ත්රිකුණාමලය ජයසුමනාරාම පුරාන මහා විහාරස්ථානයේ විහාරවාසි කාව්යමය සදහම් දේශක, කාව්ය ශ්රී පූජ්ය පාද ගාල්ලේ චන්දා නන්ද ස්වාමීන් වහන්සේ වැඩම කරමවා බණ දේශණා පිංකමක් හතර වන වේග ප්රහාරක යාත්රා සමූහ මූලස්ථානයේදී පවත්වනු ලැබීය. අද දින (2026 ඔක්තෝබර් 31) රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දුගේ ප්රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
මෙම උපහාර පිදීමේ අවස්ථාවේ අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මාතෘ භූමිය වෙනුවෙන් තම ජීවිත පූජා කළ මෙන්ම ක්රියාන්විත රාජකාරියේ නිරතව සිටියදී අතුරුදන් වූ නිර්භීත නිලධාරීන් සහ නාවිකයින් සිහිපත් කරමින් ඔවුන් හට ගෞරවය සහ කෘතඥතාවය පුද කිරීම මෙම උපහාර පිදීමේ අවස්ථාවේ ප්රධාන අරමුණ බව පවසනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, 1988 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන ප්රථම වරට ත්රිකුණාමලය කේන්ද්ර කර ගනිමින් ආරම්භ කරන ලද මෙම බලඝණය, මව්බිමේ ස්වෛයිරීභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ඨ කැප කිරීම් සහ සේවය උදෙසා, 4 වන වේග ප්රහාරක යාත්රා සමුහය ලෙස 2019 ජුනි මස 22 වන අධිකාරියට පත්කර, එදිනම විශිෂ්ඨයින් සඳහා පමණක්ම පිදෙන ජනාධිපති වර්ණයෙන්ද පිදුම් ලද බවත් පවසන ලදි.
ලොව මුහුදු සංග්රාමයන්හීදි දක්නට ලැබෙන අසමමිතික සටන් කලාව ලොවට හඳුන්වා දුන් සහ එහි ප්රමුඛයන් ශ්රිලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්රහාරක යාත්රා සමූහය බව අභිමානයෙන් ප්රකාශ කල හැකි බව පැවසු නාවික හමුදාධිපති, එවැනි අභිමානවත් බලඝණයක් නිර්මාණය කිරීමට සහ ලක් මාතාවට නිදහසේ හුස්ම ගැනීම සඳහා ජීවිත පරිත්යාගයෙන් කටයුතු කල නිර්භීත විරෝදාර නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් දරා ඇති අසීමිත කැපකිරීම් අගය කිරීම වෙනුවෙන් මෙම උපහාර පිදීමේ උළෙල පවත්වණු ලබන බවත් පවසන ලදි.
වේග ප්රහාරක යාත්රා ද්විත්වයක දෙවන අණභාර නිලධාරි වශයෙන් ද, යාත්රා තුනක අණභාර නිලධාරි වශයෙන් සහ අවසානයේදී 4 වන වේග ප්රහාරක යාත්රා සමූහයේ අණදෙන නිලධාරි වශයෙන්ද රාජකාරී සිදුකර, එම සමූහයේ නාවික හමුදා පුද්ගලයන්ගේ නිර්භීතකම, සහෝදරත්වය, නායකත්වය සහ කණ්ඩායම් හැඟීම පිලිබඳ පෞද්ගලිකව දන්නා බවත්, ඔහුගේ ප්රමුඛතාවය සෑම විටම 4 වන වේග ප්රහාරක යාත්රා සමූහය සහ නාවික දියත් විධානය වෙත යොමුවන බවත් පැවසු නාවික හමුදාධිපති, තම ආදරණීයන් සිහිපත් කිරීම සඳහා නාවික හමුදාව සමඟ එක්වීම පිළිබඳව පැමිණ සිටින සියලුම රණවිරු පවුල්වල සාමාජිකයින් වෙත, සිය කෘතඥතාවය පලකරනු ලැබීය.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ලෙස වැඩභාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස්, ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් හරිත ජයදේව, ධජ නිලධාරීන්, හතරවන වේග ප්රහාරක යාත්රා සමුහයේ අණදෙන නිලධාරි කපිතාන් සංජීව කොන්රඩ් අන්නතුගොඩ ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් සහ රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ.













