EVENT NEWS › 2026

සිවිල් මහජනතාව වෙනුවෙන් නාවික හමුදාවේ හයිපර්බරික් ඔක්සිජන් චිකිත්සක සේවා ලබා දෙයි

01 Oct 2026

ත්‍රිකුණාමලය නාවික තටාකංගන පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා කිමිදුම් ඒකකයේ ස්ථාපිත, කිමිදුම් ආශ්‍රිත වෛද්‍ය හදිසි අවස්ථා වෙනුවෙන් ලබාදෙනු ලබන විශේෂිත හයිපර්බරික් වෛද්‍ය චිකිත්සාව (Hyperbaric Oxygen Therapy - HBOT), සිවිල් මහජනතාව වෙතද වෛද්‍ය නිර්දේශ මත ලබාදෙමින්, දරුවෙකු වෙත එම චිකිත්සාව ලබාදීම, 2026 සැප්තැම්බර් මස 05 වැනි දින නාවික හමුදාව විසින් ආරම්භ කෙරිණි.

ඒ අනුව, Acquired Cerebral Palsy යන රෝගීතත්වයෙන් පෙළෙන වයස අවුරුදු අටක දරුවෙකු හට දියුණු කරන ලද සෛල (Stem Cells) බද්ධ කිරිමකින් පසු වෛද්‍ය උපදෙස් අනුව එම සෛල උත්තේජනය කිරිම සදහා දරුවාගේ දෙමාපියන් විසින් සිදු කළ ඉල්ලීමකට අනුව, ත්‍රිකුණාමලය නාවික හමුදා කිමිදුම් ඒකකයේදී, කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම විශේෂිත හයිපර්බරික් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම මෙලෙස 2026 සැප්තැම්බර් 05 වැනිදා ආරම්භ කෙරුණි. එහිදී, වෛද්‍ය නිර්දේශය මත දරුවා වෙත එක් සැසියක් 1.8 ATA (වායුගෝලයේ නිරපේක්ෂ පීඩනය) යටතේ විනාඩි 60ක කාලයක් සැසි 30ක් අදාල චිකිත්සාව මේ වන විට ලබාදෙමින් පවතී.

ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේ පිහිටි නාවික හමුදා කිමිදුම් ඒකකයේ 1990 වසරේදී ස්ථාපිත කරන ලද නැවත සම්පීඩන කුටීරය [Re-Compression Chamber (RCC)] යොදා ගනිමින්, Hyperbaric Oxygen Therapy (HBOT) හෙවත් අධි පීඩන ඔක්සිජන් ප්‍රතිකාරය සිදුකරනු ලබන අතර, මෙම නැවත සම්පීඩන කුටීරයෙහි සියලුම මෙහෙයුම් කටයුතු ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලබා ඇති නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් සිදුකරනු ලබයි. මේ වන විට කිමිදුම් ආශ්‍රිත Decompression Sickness (DCS) වැනි රෝගී තත්ව සදහා දේශීය හා විදේශීය කිමිදුම්කරුවන් විශාල පිරිසකට ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් මෙම සම්පීඩන කුටීරය යොදාගෙන ඇත.

එමෙන්ම, සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් සහිත විශේෂිත කුටියක් (Chamber) තුළ 100% පිරිසිදු ඔක්සිජන් ආශ්වාස කිරීමට සලස්වා, ශරීරයට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් ලබාදීම මඟින් සිදුකෙරෙණ මෙම විශේෂිත HBOT ප්‍රතිකාර ක්‍රමය, කිමිදුම්කරුවන් සඳහා පමණක් සීමා නොවන අතර, වෛද්‍ය නිර්දේශය මත සුව නොවන තුවාල සහ දියවැඩියා පාද තුවාල, පිළිකා විකිරණ ප්‍රතිකාරයෙන් පසු ඇතිවන පටක හානි, අවදානමට ලක්වූ සම හා පටක බද්ධ කිරීම්, දරුණු පිළිස්සුම් සහ හදිසි සංවේදන ස්නායුමය ශ්‍රවණ අහිමිවීම වැනි රෝග තත්ත්ව සඳහාද HBOT ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී.

තවද, 1990 වසරේ සිට වසර 36 කට ආසන්න කාලයක් පුරා පවත්වාගෙන එනු ලබන මෙම HBOT පහසුකම, නාවික හමුදා කිමිදුම් අංශයේ විශේෂිත පුහුණුව, දැනුම සහ අත්දැකීම් සමඟින් කිමිදුම්කරුවන්ට මෙන්ම අවශ්‍යතාවය ඇති සිවිල් ජනතාවටද විශේෂිත ප්‍රතිකාර සේවාවක් සපයන වැදගත් පහසුකමක් බවට මේවන විට පත්ව ඇත.

Accessibility Tools