නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්ය මහෝත්සවය නාවික හමුදාවේ දායකත්වයෙන් සාර්ථකව පවත්වයි
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්ය මහෝත්සවය 2026 ඔක්තෝබර් මස 27 සහ 28 දෙදින, නාගදීප පුරාණ රජ මහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්රධාන සංඝනායක අතිපූජ්ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමිගේ අනුශාසනා පරිදි, ශ්රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජෙවර්ධනගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානය විසින් සංවිධානය කෙරුණු මෙම කඨින පුණ්ය මහෝත්සවය ආරම්භ කරමින්, 2026 ඔක්තෝබර් මස 27 දින නයිනතිව් නාවික අනුඛණ්ඩයේ සිට කඨින චීවරය විචිත්රවත් පෙරහැරක් මඟින් නයිනතිව් දූපත වටා ජනතාවගේ වන්දනාමාන පිණිස රැගෙන යනු ලැබීය. අනතුරුව, නාවික අනුඛණ්ඩයේ කඨින චීවරය තැම්පත් කර, එදින සන්ධ්යාවේ නාගදීප රජ මහා විහාරස්ථානයේ නාවික හමුදා දායකත්වයෙන් බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකරණු ලැබීය.
අද දින (2026 ඔක්තෝබර් 28) උදෑසන නයිනතිව් අනුඛණ්ඩයේ සිට කඨින චීවරය නාගදීප විහාරස්ථානය වෙත වැඩම කරවා කඨින චීවර පූජාව සිදුකර, ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය සහ පිරිකර පූජා කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දුගේ සහභාගීත්වයෙන් සිදුකරනු ලැබීය.
තවද, නාවික හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන ඇතුළු උතුරු නාවික විධානයේ ජ්යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් මෙන්ම, බොදු බැතිමතුන් පිරිසක් බැති සිතින් සහභාගි වී සිටියහ.













