EVENT NEWS › 2026

‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්‍ෂක අභ්‍යාසයට සහභාගී වීම සඳහා ගජබාහු නෞකාව ඉන්දියාව බලා පිටත්වෙයි

25 Oct 2026

ඉන්දියානු නාවික හමුදාව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘BIMSTEC – 2026’ සමුද්‍රීය ආරක්‍ෂක අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව අද දින (2026 ඔක්තෝබර් 25) දිවයිනෙන් පිටත් වු අතර, එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේ දී සිදුකෙරිණි.

මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන, බහු ක්‍ෂේත්‍ර තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීමෙහි (Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation - BIMSTEC) සාමාජික රාජ්‍යන්ගේ නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායන් සහභාගි වීමට නියමිතව ඇත. මෙම අභ්‍යාසය මඟින් සමුද්‍රීය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙන්ම, බෙංගාල බොක්ක ආශ්‍රිත සමුද්‍රීය කලාපයේ මෙහෙයුම් සම්බන්ධීකරණය ගොඩනැගීම සහ කලාපීය ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත.

තවද, 2026 ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 03 දක්වා පැවැත්වීමට නියමිත මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ‍නාවික නෞකා ගජබාහු නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිටත් වීමේ අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජයවර්ධන, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අතුල ජයවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර විසින් අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

Accessibility Tools