EVENT NEWS › 2026

සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පැවති පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වෙයි

03 Oct 2026

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැලැක්වීම් වැඩසටහන යටතේ, සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම පිළිබඳ පාඨමාලාවේ පළමු අධියර ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ පුහුණු පාසලේදී සාර්ථකව නිමාවට පත් වුණු අතර, එහි සහතික ප්‍රධානය 2026 ඔක්තෝබර් මස 02 වැනි දින සිදු කෙරිණි.

ඒ අනුව, මෙම පුහුණු පාඨමාලාව තුලදී යාත්‍රා වෙත ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සහ සැඟවුණු අවකාශ පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේද සහ සමුද්‍රීය වසම් දැනුවත්භාවය පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව දැනුවත් කෙරිණි. මෙම පාඨමාලාව සඳහා බංග්ලාදේශය නියෝජනය කරමින් නියෝජිතයින් අට දෙනෙකු (08), ඉන්දියාව නියෝජනය කරමින් එක් අයෙකු (01), මාලදිවයින නියෝජනය කරමින් අටදෙනෙකු (08) සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දහතුන් දෙනෙකු (13) ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් දහසය දෙනෙකු (16) ඇතුළත් විය.

එමෙන්ම, මෙම පාඨමාලාව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයන සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය (RCMS) එක්ව පවත්වන ලද අතර, ප්‍රංශ රේගු නිලධාරීන් ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයින්ගේ විශේෂිත යෙදවුම් ඒ සඳහා දායක විය. පාඨමාලාවේ ප්‍රායෝගික අභ්‍යාස 2026 සැප්තැම්බර් මස 29 වැනි දින ‘ස්ටෙලා බියුටි’ වෙළඳ නෞකාවේ දායකත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ A 521 යාත්‍රාවේ පැවති සැඟවුණු අවකාශ තුල මත්ද්‍රව්‍ය සෙවීමේ අභ්‍යාසයෙන් අනතුරුව, ප්‍රායෝගික අභ්‍යාස සාර්ථකව අවසන් විය.

මෙහිදී අදහස් දැක්වූ විශේෂ යාත්‍රා බලඝනයේ ආඥාපති කපිතාන් ධර්මසිරි හේරත්, ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලය සහ විශේෂ යාත්‍රා බලඝණය අතර, දිගුකාලීන සහයෝගීතාවය හා හවුල්කාරිත්වය 2015 වර්ෂයේ ආරම්භ වූ බවත්, 2016 වර්ෂයේ සිට ක්‍රමයෙන් ආරම්භ වූ නෞකා වෙත ගොඩවීම පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද පිළිබඳ පුහුණු කටයුතු සහ ඒ සම්බන්ධ මූලික උපදේශක පාඨමාලා, මේ වනවිට උසස් සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීමේ පුහුණුව දක්වා ක්‍රමයෙන් ව්‍යාප්ත වී ඇති බවත් පවසන ලදි. විශේෂයෙන්, විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලේ Ship-in-a-Box VBSS පුහුණු පහසුකම සහ කාර්යාල හා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ දායකත්වය මෙහිදී ඔහු විසින් ඇගයීමට ලක් කරන ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ අග්නිදිග ආසියානු කලාපීය වැඩසටහන් සම්බන්ධීකාරක සහ දේශසීමා කළමනාකරණ ශාඛාවේ ආසියානු සම්බන්ධීකාරක David O’Connell මහතා විසින් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සිය සුභපැතුම් පිරිනමන ලද අතර, සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ප්‍රංශ රේගු දෙපාර්තමේන්තුවේ Ana Verron මහත්මිය සහ Johann Hendrick මහතා, ප්‍රධාන උපදේශක Leonard Adams මහතා ඇතුළු විදේශීය නියෝජිතයන් සහ කොළඹ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ කාර්යාලයේ ව්‍යාපෘති සහාය නිලධාරී දිනිති මෙන්ඩිස් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools