EVENT NEWS › 2026

ශ්‍රී ලංකාවේ ගරු ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිසක් නැගෙනහිර නාවික විධාන මූලස්ථාන සංචාරයක නිරත වෙයි

30 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලබන, යාත්‍රා වෙත ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සහ සැඟවුණු අවකාශ පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේද පිලිබඳ පාඨමාලාවට සමඟාමිව, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා ඇතුළු දූත පිරිසක්, 2026 සැප්තැම්බර් මස 28 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ ගරු ප්‍රංශ තානාපති ඇතුළු දූත පිරිස, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු නලින්ද දිසානායක හමුවී, ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත විය. අනතුරුව, විශේෂ යාත්‍රා බලඝන මූලස්ථානයේ පුහුණු පාසලේ පැවැත්වෙන පුහුණු වැඩසටහන නිරීක්‍ෂණය සඳහා සහභාගී වූ දූත පිරිස, පාඨමාලාවට අදාලව සිදුකෙරෙණ ප්‍රායෝගික පුහුණු අභ්‍යාස නිරීක්‍ෂණය සඳහාද සහභාගී වූහ.

තවද, විශේෂ යාත්‍රා බලඝනයේ පුහුණු සැසිය නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය, සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානය සහ ප්‍රංශ රේගු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්වී සිටි අතර, එම අවස්ථාව සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සමුද්‍රීය අධ්‍යයනය සඳහා වූ කලාපීය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කපිතාන් ජානක ගුණවර්ධන, විශේෂ යාත්‍රා බලඝන පුහුණු පාසලේ ආඥාපති කපිතාන් ධර්මසිරි හේරත්, විශේෂ යාත්‍රා බලඝනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ලක්මාල් වීරක්කොඩි ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.

Accessibility Tools