ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2026 සැප්තැම්බර් 08) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙලෙස දිවයිනට පැමිණි දිගින් මීටර් 149.02ක් වන Frigate වර්ගයට අයත් ‘INS UDAYGIRI’ යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරනු ලබන කපිතාන් Vikas Sood සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා අතර නිල හමුවක් විධාන මූලස්ථානයේදී පැවැත්වුණු අතර, කපිතාන් Vikas Sood, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් 2020 වර්ෂයේ ජූලි සිට 2023 වර්ෂයේ ඔක්තෝබර් දක්වා කටයුතු කර ඇත.
එමෙන්ම, ‘INS UDAYGIRI’ යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.
තවද, මෙම යුද නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සහ ඒ සම්බන්ධ වෘත්තීය දැනුම හුවමාරුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිවන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් නෞකාව තුල පුහුණු වැඩසටහන් පැවැත්වීමටද නියමිතව ඇත.













