EVENT NEWS › 2026

ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජිවිත ආධාරක පුහුණු වැඩසටහනක් පූනච්චිමුනායි හා වාලච්චේනේදී

23 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පුහුණව හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පූනනිච්චිමුනායි, සහ වාලච්චේනේ යන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින්, 2026 සැප්තැම්බර් මස 22 වැනි දින පවත්වන ලදී.

මුහුද ආශ්‍රිතව සිය දෛනික ජීවනෝපාය පවත්වාගෙන යන ධීවර ප්‍රජාව මුහුණ දෙන හදිසි අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රථමාධාර ලබාදීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහිදී, නාවික හමුදා හෙද කාර්ය මණ්ඩලය විසින් දියේ ගිලීමේදී ප්‍රථමාධාර ලබාදීම, රුධිර වහනය පාලනය, මූලික ජීවිතාරක්ෂක ක්‍රම, සර්ප දෂ්ටන සඳහා මූලික ප්‍රතිකාර, තුවාල කළමනාකරණය සහ රෝගීන් ආරක්ෂිතව මාරු කිරීම ඇතුළු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදී. විශේෂයෙන්ම මුහුදේදී ධීවරයින්ට මුහුණදීමට සිදුවන හදිසි අවස්ථාවන්හිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරිණි.

එමෙන්ම, බෝ නොවන රෝග (NCDs) වළක්වා ගැනීම, දියවැඩියාව හා අධි රුධිර පීඩනය පාලනය, දේශීයව පහසුවෙන් ලබාගත හැකි ආහාර භාවිතයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, දුම්කොළ හා මත්පැන් භාවිතයෙන් වැළකීම, ශාරීරික අභ්‍යාස වල නිරතවීම සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. මීට සමගාමීව ධීවර ප්‍රජාව සඳහා වෛද්‍ය පරීක්ෂණ වැඩසටහනක් පවත්වමින් රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පරීක්ෂා කිරීම ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර ආරක්ෂාව තහවුරු කිරීමේ සිය ප්‍රධාන වගකීමට අමතරව, වෙරළාශ්‍රිත ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය නඟාසිටුවීම සඳහා ද අඛණ්ඩව දායකත්වය ලබාදෙයි.

Accessibility Tools