EVENT NEWS 2026

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවික හමුදාව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්

19 Sep 2026

“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ‘ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්ෂණ සතිය’ ජාතික වැඩසටහන අද දින (2026 සැප්තැම්බර් 19) උදෑසන පානදුර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණු අතර, 2026 සැප්තැම්බර් මස 19 වැනි දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය’ සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතිය නිමිත්තෙන්, නාවික විධාන ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කර ඇත.

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ස්ථාපිත ජනාධිපති කාර්යය සාධක බළකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, ඒ යටතේ සිදුකෙරෙණ වැඩසටහන් සහ “පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර” යන තේමාව පෙරදැරිව ක්‍රියාත්මක වන “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන් ඇතුළු පාරිසරික සංරක්‍ෂණ වැඩසටහන් සඳහා නාවික හමුදාව නිරන්තර ප්‍රජාසත්කාරක දායකත්වය ලබා දෙනු ලබයි.

ඒ අනුව, ‘ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය’ සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතිය නිමිත්තෙන්; බටහිර නාවික විධානය මඟින් පානදුර වෙරළ තීරය ද, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රිකුණාමලය ටවුන් බේ, මුතූර්, කින්නියා, සෙල්ලපුරම්, අරිසිමලේ, ගෝපාලපුරම්, තිරියාය, පනිච්චන්කේනි හා ලංකාපටුන යන වෙරළ තීර ද, උතුරු නාවික විධානය මඟින් කන්කසන්තුරය වෙරළ තීරය ද, ගිනිකොණ නාවික විධානය මඟින් කාර්තිව් වෙරළ තීරය ද, දකුණු නාවික විධානය මඟින් ගාල්ල දඩල්ල හා හම්බන්තොට ගොඩවාය වෙරළ තීරයන් ද, උතුරු මැද නාවික විධානය මඟින් වංකාලෙයි වෙරළ තීරය ද, වයඹ නාවික විධානය මඟින් සින්නපාඩු, තලවිල සහ මොල්ලිකුලම් යන වෙරළ තීරද කේන්ද්‍ර කර ගනිමින් මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීම, නාවික හමුදාව විසින් අනෙකුත් පාර්ශවයන් හා එක්ව සිදුකෙරිණි.

තවද, මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන මඟින්, ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතුළු ඝණ අපද්‍රව්‍ය රැසක් වෙරළ තීරයන්ගෙන් ඉවත් කර ක්‍රමවත්ව බැහැර කිරීමට නාවික හමුදාව දායක විය.

Accessibility Tools