ශ්‍රී ලංකාව සඳහා 2026 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ඒකාබද්ධ පුහුණු වැඩසටහන් මාලාව ත්‍රිකුණාමලයේදී ආරම්භ වේ
ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය විසින් 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරනු ලබන පුහුණු වැඩසටහන් මාළාව ආරම්භ කරමින්, එහි සමාරම්භක පුහුණු පාඨමාලාව අද දින ( 2026 සැප්තැම්බර් 21) ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී ආරම්භ විය.
සමුද්‍රීය මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හැකියාවන් ශක්තිමත් කිරීම මෙම පුහුණු වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වන අතර, එමඟින් ඒකාබද්ධ අපරාධ යුක්ති ක්‍රමවේදයක් ඔස්සේ කලාපීය සහයෝගීතාවය වැඩිදියුණු කිරීමටද අවධානය යොමු කර ඇත.
ඒ අනුව, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් මාලාවේ පළමු පුහුණු වැඩසටහන ලෙස ආරම්භ වූ, යාත්‍රා වෙත ගොඩවීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සහ සැඟවුණු අවකාශ පරීක්ෂාවට ලක්කිරීමේ ක්‍රමවේද පිලිබඳ පාඨමාලාව 2026 ඔක්තෝබර් මස 02 වන දින දක්වා සති දෙකක කාලයක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා බංගලාදේශය නියෝජනය කරමින් සාමාජිකයන් අට දෙනෙකු (08), මාලදිවයින නියෝජනය කරමින් අට දෙනෙකු (08) සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා නිලධාරීන් අට දෙනෙකු (08), ශ්‍රී ලංකා රේගු නිලධාරීන් තිදෙනෙකු (03) සහ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙකු (02) සහභාගී වේ.
මෙම පුහුණු පාඨමාලාව මගින් ආරක්ෂිත ක්‍රියාකාරී ක්‍රමවේද, යාත්‍රා වෙත ගොඩවීමේ ක්‍රියාපටිපාටි, ගොඩවීමේ කණ්ඩායම් සංයුතිය හා සන්නිවේදනය, පුද්ගල සෝදිසි කිරීම සහ රඳවා තබා ගැනීම, යාත්‍රා හඳුනාගැනීම, නෞකා ලේඛන පරීක්ෂාව, නෞකා සෝදිසි කිරීමේ ක්‍රමවේද, සාක්ෂි පිළිබඳ දැනුවත්භාවය, ගොඩවීමේ උපකරණ භාවිත කිරීමේ ක්‍රමවේද, ස්ථාවර සහ යාත්‍රාකරමින් පවතින යාත්‍රා වෙත ගොඩවීම, යාත්‍රා පරීක්ෂාව මෙන්ම සැඟවුණු අවකාශ හඳුනාගනිමින් සෝදිසි කිරීම පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතව ඇත.
තවද, මෙම පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාව සඳහා, විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාන්ඩර් ලක්මාල් වීරක්කොඩි, විශේෂ යාත්‍රා බල ඝන පුහුණු පාසලේ පුහුණු විධායක සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ, යාත්‍රා වෙත ගොඩවීම, සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද පිලිබඳ ප්‍රධාන උපදේශක ජොහාන් හෙන්ඩ්‍රික් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.













