නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 33ක් නීතියේ රැහැනට

30 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව, 2026 අගෝස්තු මස 16 සිට 27 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස්තුන් දෙනෙකු (33) සමඟ ඩිංගි යාත්‍රා දහ අටක් (18) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය ඉලන්කන්තෙයි, ලංකාපටුන, බ්ලැක් පොයින්ට්, අරිසිමලේ, නිලාවේලි, කල්කුඩා, කොක්කුතුඩුවායි, අඩුක්කුපාඩු, කොකනට් පොයින්ට්, මඩකලපුව, යාපනය වෙත්තලකේනි, කඩ්ඩයිකාඩු වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර සහ උතුරු නාවික විධාන විසින් සිදුකළ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ තහනම් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, කොඩ්බේ, මුතූර්, මුලතිව්, කෝකිලායි, යාපනය සහ මඩකලපුව යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත හා කල්කුඩා සහ නිලාවේලි යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools