ගැඹුරු මුහුදේ රෝගී වූ ධීවරයෙකු නාවික හමුදාවේ කඩිනම් මැදිහත්වීමෙන් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ

23 Jul 2026

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී හදිසි රෝගී තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් අද (2026 ජූලි 23) කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී.

දික්ඕවිට ධීවර වරායෙන් 2026 ජූලි 15 වන දින ධීවරයින් හය දෙනෙකු (06) රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් දෙසිය හතලිස් හතරක (244) පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටියදී, එහි සිටි එක් ධීවරයෙකු හදිසි රෝගී තත්වයකට ලක්ව ඇති අතර, එම ධීවරයාට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකර තිබිණි.

ඒ අනුව, රෝගී ධීවරයාට කඩිනමින් සහය සැලසීම සඳහා එම මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටි වෙළඳ නෞකා දැනුවත් කිරීමට කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කටයුතු කළ අතර, ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ ‘CMA CGM BAHIA’ නමැති වෙළඳ නෞකාව විසින් රෝගී ධීවරයා ආරක්ෂිතව නෞකාවට ගොඩකර ගැනීමට කටයුතු කරන ලදී.

පසුව, එම ධීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම වෙනුවෙන් අද (2026 ජූලි 23) බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් අදාළ වෙළඳ නෞකාව වෙත යොමු කෙරිණි. එහිදී රෝගී ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ආරක්ෂිතව භාරගෙන, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් කොළඹ වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.

Accessibility Tools