නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 44ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 16 සිට 31 දක්වා කාලසීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08), කැනොයි යාත්‍රා දෙකක් (02) සහ ට්‍රැක්ටර් රථ හතරක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය පනිචන්කේනි, සෝබා දූපත, පොල්මල්කුඩා, කින්නියා, සූඩයිකුඩා, ඔට්ටමාවඩි, අලම්පිල්, පුඩුවකට්ටු සහ යාපනය චුන්ඩිකුලම් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් මෙලෙස පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) නාවික හමුදා භාරයට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කුඩැල්ලන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකලපුව, කොඩ්බේ, මුතූර්, වාලච්චේනයි, කුච්චවේලි, මුලතිව්, යාපනය යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.