විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඩෙල්ෆ්ට් වෙල්ලෛයි වෙරළ ප්‍රදේශයේ 2026 ජුනි මස 24 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින් ඩෙල්ෆ්ට් වෙල්ලෛයි වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු උර හයක් (06) පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම උර තුල තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන විදේශීය දුම්වැටි පැකට්ටු පන්සියයක් (500), කෘමිනාශක පැකට්ටු දෙදහස් දෙසිය අනුපහක් (2295), ඖෂධාලේපන සහිත ඇසුරුම් දෙදහස් පන්සිය හැට නවයක් (2569), රූපලාවන්‍ය ආලේපන සහිත ඇසුරුම් එකසිය හැට පහක් (165) සහ සුවඳ විලවුන් බොතල් හැට හතරක් (64) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් භාණ්ඩ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන භාණ්ඩ ජාවාරම් ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා ඇති මුහුදු තීරය ආවේක්‍ෂණය කරමින් අඛණ්ඩව මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.













