‘අර්නාබ්’ සුළිකුණාටුවේ බලපෑමෙන් මුහුදේ අතරමන්ව සිටියදී මුදාගත් කුඩාවැල්ලේ ධීවරයින් 04 දෙනා නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

03 Nov 2026

කුඩාවැල්ල ධීවර වරායෙන් 2026 ඔක්තෝබර් මස 21 වැනි දින ‘ඊගල්’ (IMUL-A-0022-TLE) නැමති බහුදින ධීවර යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස්, ‘අර්නාබ්’ සුළිකුණාටුවේ බලපෑමෙන් මුහුදේ අතරමන්ව සිටි කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා (04) සෙවීම සඳහා නාවික හමුදාව ඒකාබද්ධ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබූ අතර අද දින උදෑසන (2026 නොවැම්බර් 03) එම ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත රැගෙන එනු ලැබීය.

මෙම බහුදින ධීවර යාත්‍රාව සමඟ පැවති සන්නිවේදන හුවමාරුව 2026 ඔක්තෝබර් මස 23 සිට ඇනහිට ඇති බවට එම යාත්‍රාවේ හිමිකරු විසින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත 2026 ඔක්තෝබර් මස 27 දින දැනුම් දී ඇති බවත්, එම යාත්‍රාව සහ ධීවරයන් සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරන මධ්‍යස්ථානය වෙත ඔක්තෝබර් 27 දින දැනුම්දීමක් සිදුකෙරිණි.

මුහුදේදී ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය (UNCLOS), මුහුදේදී ජීවිත ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (SOLAS) සහ සෙවීමේ හා මුදා ගැනීමේ සම්මුතිය (SAR) යන ජාත්‍යන්තර සමුද්‍රීය සම්මුතීන් වෙතින් දූපත් රාජ්‍යන් වෙත ජාත්‍යන්තර බැදීමක් ඇත.

එම ජාත්‍යන්තර බැඳීමට අනුව, ආපදාවට පත් ධීවරයන් සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරුණු එම දැනුම් දීමට ප්‍රථිචාර දැක්වූ නාවික හමුදාව; වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ගුවන් හමුදාව සහ එම මුහුදු කලාපයේ ධීවර යාත්‍රා සහ වෙළඳ නෞකා දැනුවත් කරමින් ඒකාබද්ධ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ඔක්තෝබර් 27 ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව යොදවනු ලැබීය.

නාවික හමුදාව ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව වෙත අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදුකරමින් සිදුකල මෙම ඒකාබද්ධ මෙහෙයුමෙහි ප්‍රථිඵලයක් ලෙස, ආපදාවට පත් ධීවරයන් සිවුදෙනා (04) රැගත් ‘ඊගල්’ (IMUL-A-0022-TLE) නැමති බහුදින යාත්‍රාව සහ එම ධීවරයන් ගොඩබිමට රැගෙන ඒම සඳහා ‘ඊගල්’ බහුදින ධිවර යාත්‍රාව තිබූ මුහුදු ප්‍රදේශයට ආසන්නයේ, මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව යොමු කිරිමට නාවික හමුදාව කටයුතු කෙරුණු අතර, එම ධීවරයන් සිවු දෙනා (04) සිඳුරළ නෞකාව වෙත 2026 නොවැම්බර් මස 02 වන දින ලබා ගැනීමෙන් පසුව, අවශ්‍ය ‍මූලික වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර ලබා දෙනු ලැබීය.

ඒ අනුව, සිඳුරළ නෞකාව මඟින් හම්බන්තොට වරාය වෙත අද දින උදෑසන (2026 නොවැම්බර් 03) මෙලෙස රැගෙන ආ ධීවරයින්, වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරනු ලැබීය.

තවද, මෙම මෙහෙයුමට සමඟාමීව 2026 ඔක්තෝබර් මස 26 වැනි දින චලෙයි ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් නැවත නොපැමිණි ධීවරයින් තිදෙනෙකු (03) සොයා නාවික හමුදාව ආරම්භ කල ඒකාබද්ධ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම අද දිනයේත් (2026 නොවැම්බර් 03) අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Accessibility Tools