ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල බවට සැකකෙරෙන විදේශීය යාත්‍රාවක් අත්අඩංගුවට ගනියි

27 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙණ ධජ රහිත යාත්‍රාවක් සමඟ විදේශීය ජාතිකයින් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගනු ලැබීය. එම විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද දින (2026 නොවැම්බර් 27) දික්ඕවිට වරාය වෙත ගෙන එනු ලැබීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව අත්අඩංගුවට ගත් විදේශීය යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙණ ඇසුරුම් තුනක් (03) එහිදී පරීක්‍ෂා කිරීමේදී, එම ඇසුරුම් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි (03) ග්‍රෑම් හයසිය හැත්තෑවක (670) පමණ ප්‍රමාණයක් ඇති බවට තහවුරු විය.

අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් හත් දෙනා (07), විදේශීය යාත්‍රාව (01) සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙනු ලැබීය.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික නීති සේවා කොමාණ්ඩර් චතුරිකා ජයමිනී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් අද දින (2026 නොවැම්බර් 27) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඒ යටතේ ජාත්‍යන්තර මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය ජාවාරම් කල ධජ රහිත විදේශීය යාත්‍රාවක් සමඟ විදේශීය සැකකරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් බවත් පවසන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහු ජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය 2023 වර්ෂයේ ලබා තිබීම, කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සාගර කලාපය පිළිබඳ සියලු සමුද්‍රීය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කිරීම සහ චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කිරීම මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්‍ෂණ මගින් සාගරයේ නිරීක්‍ෂණ වපසරිය පුළුල් කිරිමත්, නව අනපනත් සම්මත කිරීමත් හේතුවෙන්, ජාත්‍යන්තර මුහුදේ මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට නාවික හමුදාවට හැකිවූ බව පවසන ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය ජාතික ආර්ථිකයට, සමාජ සංවර්ධනයට, තරුණ පරපුරට සහ පාසල් දරුවන් වෙත විශාල අහිතකර බලපෑමක් ඇති කර ඇති බවත්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව; වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බවත්, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන එකසිය දහසයකට (116) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බවත් පවසන ලදි. එබැවින්, රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වෙන ලෙස ජාවාරම්කරුවන් වෙත නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය මර්ධනය සඳහා නව අනපනත් සම්මත කරමින්, නාවික හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශයන්ගේ ධාරිතා වර්ධනය සඳහා විශාල අවධානයක් යොමු කිරිම හේතුවෙන්, ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබබ්ට ගොස් සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට නාවික හමුදාවට හැකිවී ඇති බවත්, මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ නාවික හමුදාව වෙත ගරු ජනාධිපතිතුමන් වෙනුවෙන් සහ සමස්ත මහජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව පලකරන බවත් පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නවීන තාක්‍ෂණික මෙවලම් සහ ආවේක්‍ෂණ පද්ධති භාවිතා කරමින් සිදුකල විශේෂ මෙහෙයුමකින්, ජාත්‍යන්තර මුහුදේදී ධජ රහිත යාත්‍රාවක් සමඟ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම, නාවික හමුදාව සිදුකල වෙනස් වූ විශේෂ මෙහෙයුමක සාර්ථක ප්‍රථිපලයක් බවත්, විදෙස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ඉදිරි මෙහෙයුම් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසන ලදි.

නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ සිදුකල සාර්ථක මෙහෙයුම සඳහා අන්තර්ජාතික සහ දේශීය නීතියේ ප්‍රථිපාදන ඇති බවත්, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවත්නා නීති හා අනපනත් නිසිලෙස සංශෝධනය වීම හේතුවෙන් නාවික හමුදාවට ඉදිරියේදී මෙවැනි මෙහෙයුම් සාර්ථකව සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් පවසන ලදි.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2026 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් විදේශීය යාත්‍රා 04ක් ඇතුළුව යාත්‍රා 66ක් සහ විදේශීය පුද්ගලයන් 18 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර ඇත.