රුපියල් බිලියන 4.2 කට අධික දල වීථී වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 189 කට අධික තොගයක් දකුණූ මුහුදේදී නීතියේ රැහැනට

05 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය අසූනවයයි (189) ග්‍රෑම් දෙසීය හතලිස් හයක (246) පමණ තොගයක් අඩංගු උර දහයක් (10) ප්‍රවාහනය කල දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගනු ලැබු අතර, එම මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා අද දින උදෑසන (2026 නොවැම්බර් 05) දික්ඕවිට ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එහිදී සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම මත්ද්‍රව්‍ය තොගයෙහි පාර්සල් සියයක (100) අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ එකසිය තිස් දෙකයි (132) ග්‍රෑම් විසිහයක (026) පමණ තොගයක් සහ පාර්සල් පනස් දෙකක (52) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ පනස් හතයි (57) ග්‍රෑම් දෙසීය විස්සක (220) පමණ තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගයේ දල වීථි වටිනාකම රුපියල් බිලියන 4.2 කට (කෝටි 420) අධික බවට විශ්වාස කෙරෙන අතර, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්‍ෂණය සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන සහ බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සමඟාමීව, ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙනුවෙන් මත්ද්‍රව්‍ය සැපයීම අඩාල කිරීම සඳහා සමුද්‍රීය කලාපය ආවරණය වන පරිදි තීව්‍ර මෙහෙයුම් නාවික හමුදාව නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත්, නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකසිය අසූනවයකට (189) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් වූ බවත් පවසන ලදි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ නාවික හමුදාව; වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් සන්නද්ධ හමුදා, පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව, දේශීය හා විදේශීය බුද්ධි අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් දිවයිනේ ගොඩබිම සහ මුහුදු කලාප ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තීව්‍ර කර ඇති බැවින්, රටතුලට මත්ද්‍රව්‍ය ගෙන ඒමට කිසිදු ඉඩක් නොතබන බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා අවධාරණය කළේය.

නාවික හමුදාව පමණක් පසු ගිය 2025 වර්ෂයේ රුපියල් බිලියන හැත්තෑ පහකට (75) අධික දල වීථි වටිනා නමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකරගෙන ඇති බවත්, මත්ද්‍රව්‍ය සැපයීම සහ මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාල කිරීම සඳහා නව නීති සම්පාදනය කරමින් හා තාක්‍ෂණික උපකරණ හා උපාංග ලබා දෙමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත රජය විසින් ලබා දෙන පහසුකම් හමුවේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ කිසිදු ක්‍රමයකින් මත්ද්‍රව්‍ය රට තුළට රැගෙන ඒමට ඉඩක් නැති බව පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙත හා ඒ සඳහා අනුබල දෙන හා පහසුකම් සපයන්නන් වෙත විෂ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත්වන ලෙස අවධාරනය කළේය.

රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු බුද්ධි සේවාවන් සමඟ තොරතුරු හුවමාරුකර ගනිමින් දින ගණනාවක් ගැඹුරු මුහුදේ ආවේක්‍ෂණ කටයුතු සිදුකර විශාල කැපවීමකින් යුතුව, සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමක් සිදුකිරීම සම්බන්ධයෙන්, එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ නාවික හමුදාව සහ අනෙකුත් සියළුම පාර්ශවයන් වෙත ගරු ජනාධිපතිතුමන් වෙනුවෙන් සහ සමස්ථ මහජනතාව වෙනුවෙන් සිය කෘතඥතාව ඵලකරන බව පැවසූ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමා, මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සාර්ථකව සිදුකිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත ක්‍ෂණික දුරකථන අංක 1818 හෝ 1997 ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමින්, මත්ද්‍රව්‍ය ව්‍යසනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් සිදුකරනු ලබන කාර්යභාරය අගයන බව පවස ලදි.

තවද, මෙම මෙහෙයුමත් සමග, 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට, ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ වී වසරක කාලයකදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකල මෙහෙයුම් මඟින්, රුපියල් බිලියන එකසිය දහහතරකට (114) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති අතර, 2026 වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් පමණක් රුපියල් බිලියන හැත්තෑ තුනකට (73) අධික දළ විථි වටිනාකමකින් යුත් විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

Accessibility Tools