නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 125 කට පමණ තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

16 Oct 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, පුත්තලම පෙරියපාඩු වෙරළ ප්‍රදේශයේ අද දින (2026 ඔක්තෝබර් 16) උදෑසන කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය විසින් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී පෙරියපාඩු වෙරළ ප්‍රදේශයෙහි තිබූ සැකකටයුතු උර තුනක් (03) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙනවිත්, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් එකසිය විසිපහක (125) පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools