නැගෙනහිර ගැඹුරු මුහුදේ අනතුරකට ලක්වූ ධීවරයෙකු නාවික හමුදාව මඟින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කෙරේ
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඇති වූ අනතුරක් හේතුවෙන් අසාධ්‍ය තත්වයකට පත් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, නාවික හමුදාව විසින් 2026 ඔක්තෝබර් මස 01 වැනි දින රාත්‍රී කාලයේ කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.
දෙවුන්දර ධීවර වරායෙන් 2026 සැප්තැම්බර් මස 26 වැනි දින ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති 'දුලාජ් පුතා' නමැති බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් නාවික සැතපුම් විසි හතරක (24) පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකුගේ දකුණු අතක ඇඟිලි අනතුරක් හේතුවෙන් තුවාල වී අසාධ්‍යව ඇති බවත්, එම ධීවරයා වෙත කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව මෙම මෙහෙයුම සඳහා නැගෙනහිර නාවික විධානය වෙත අනුයුක්ත පි 436 වේග ප්‍රහාරක යාත්‍රාව යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඒ අනුව, එම ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් කඩිනමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබීය.
තවද, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුළ ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාව වෙත කඩිනම් සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.













