නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් උතුරු මුහුදේදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ කලපු ප්‍රදේශයේ 2026 සැප්තැම්බර් මස 15 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් නව දහසක (9000) තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අයත් කල්මුනේ තුඩුව නාවික අනුඛණ්ඩය මඟින්, කල්මුනේ තුඩුවට ඔබ්බෙන් වූ යාපනය කලපුවේ මනියන්තෝට්ටම් ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස අල්ලා ගොඩ බිමට ප්‍රවාහනය කරමින් තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය සමඟ කල්පිටිය, අනුරාධපුරය සහ යාපනය කොළම්බුතුරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි සැකකරුවන් සිවුදෙනෙක් (04) සහ එම ඩිංගි යාත්‍රා මෙලෙස නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකරගත් අවුරුදු 34 සහ 44 අතර වයසේ පසුවන සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.













