නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,680 කට අධික තොගයක් පුත්තලමේදී නීතියේ රැහැනට

09 Sep 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම පල්ලිවාසල්පාඩු සහ නාවට්කාඩු වෙරළ ප්‍රදේශ ආශ්‍රිතව 2026 සැප්තැම්බර් මස 08 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් හයසිය අසූවකට (2,680) අධික තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්ණි ආයතනය, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, පුත්තලම පල්ලිවාසල්පාඩු සහ නාවට්කාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම් මඟින්, එම වෙරළ ප්‍රදේශයන්හී තිබූ සැකකටයුතු උර හැට හතරක් (64) පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන, බීඩි කොළ කිලෝ ග්‍රෑම් දෙදහස් හයසිය අසූවකට (2,680) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම ඒකාබද්ධ මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Accessibility Tools