නිති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 07 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම් යහප්පාර් සහ යාපනය කුඩරිප්පු වෙරළ ප්‍රදේශයන්හි 2026 සැප්තැම්බර් මස 16 සහ 17 යන දෙදින තුල සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර, මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ යාත්‍රා තුනක් (03) සහ මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් හාරසියයක (1400) තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින් නච්චිකුඩා යහප්පාරු වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය පනහක් (550) සමඟ යාත්‍රාවක් (01), 2026 සැප්තැම්බර් මස 16 වැනි දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
එමෙන්ම, උතුරු නාවික විධානයේ වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම මඟින්, කුඩරිප්පු වෙරළ ප්‍රදේශයේ අද දින (2026 සැප්තැම්බර් 17) උදෑසන සිදුකල මෙහෙයුමකදී නිති විරෝධි ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් සිව්දෙනෙකු (04) සමඟ මුහුදු කූඩැල්ලන් අටසිය පනහක් (850) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 29 ත් 46 ත් අතර වයසේ පසුවන මන්නාරම සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.













