SPORT NEWS 2026

10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය අති උත්කර්ෂවත් ලෙස නිමාවට

19 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ 10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2026 ජූලි 01 සිට 12 දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි ත්‍යාග ප්‍රදානෝත්සවය 2026 ජූලි 18 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකාව ‘ගැමුණු’ ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900කට අධික පිරිසක් සහභාගි වූ අතර, ඉන් 800කට අධික පිරිසක් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීම කැපී පෙනෙන විශේෂත්වයක් විය.

එමෙන්ම, මෙම උත්සවය අමතමින් අදහස් දැක්වු නාවික හමුදාධිපති; ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වෙඩි තැබීමේ සංගම් සහ පාසල් එක් තරඟ බිමක එක්වීම මෙරට වෙඩි තැබීමේ ක්‍රීඩාවේ වර්ධනයට සුභවාදී පදනමක් සපයන බව සදහන් කරන ලදි. තරුණ වෙඩික්කරුවන්ගේ සහභාගීත්වය අගය කළ හෙතෙම, වෙඩි තැබීමේ ක්‍රීඩාව ඉවසීම, විනය, අවධානය සහ වගකීම වැනි ගුණාංග වර්ධනය කරමින් වගකීමෙන් යුතු පුරවැසියන් බිහි කිරීමට දායක වන බවද පැවසීය.

තවද, මෙවැනි තරඟාවලි මඟින් ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ සහ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා උරගා බැලීමට, අත්දැකීම් හුවමාරු කර ගැනීමට සහ තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට අනගි අවස්ථාවක් උදා වන බවත්, විශේෂයෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නංවා අනාගත ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ශූරයන් බිහි කිරීමට මෙම තරඟාවලිය වැදගත් වේදිකාවක් බවත් අවධාරණය කරන ලදි.

මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරීම සඳහා දායක වූ ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංගමය, ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනය සහ සියලු පාර්ශ්ව වෙත නාවික හමුදාධිපති සිය කෘතඥතාව පළ කළ අතර, අවසානයේ සියලුම තරඟකරුවන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් එක් කළ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය සාධාරණත්වය, මිත්‍රත්වය සහ විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කළ ආදර්ශවත් තරඟාවලියක් වූ බව පවසන ලදි.

එමෙන්ම, දැඩි තරඟකාරීත්වයක් යටතේ පැවති මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් වූ අතර, සිය දක්ෂතා තුළින් නාවික හමුදාවට අභිමානයක් එක් කළහ. එමෙන්ම මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම, නව දක්ෂතා හඳුනාගැනීම සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සහයෝගීතාව හා තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ක්‍රීඩා තරගාවලියක් බවට පත්විය.

තවද, මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංගමයේ සභාපති රියර් අද්මිරාල් අචල සිල්වා, ජාතික වෙඩි තැබිමේ ක්‍රිඩා සංගමයේ ලේකම් දිනේෂ් ලයනල් මහතා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධන, අධ්‍යක්ෂ ක්‍රීඩා කොමදෝරු ඉන්දික එදිරිසිංහ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිත පිරිසක් සහභාගි වූහ.

Accessibility Tools