SPORT NEWS › 2026

නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වෙයි

03 Nov 2026

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2026, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2026 ඔක්තොබර් මස 24 වන දින සිට 30 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් හිමිකර ගැනීමට සමත් විය.

සෑම නාවික විධානයක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගීවු මෙම තරඟාවලියේදී, නැගෙනහිර නාවික විධානය සහ බටහිර නාවික විධාන කණ්ඩයාම් අතර පැවති පිරිමි අවසන් තරඟය ලකුණු 75-40 ක් ලෙස ජයග්‍රහණය කල නැගෙනහිර නාවික විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2026 හි පිරිමි ශූරතාවය හිමිකරගත් අතර, එහි අනුශූරතාවය බටහිර නාවික විධාන කණ්ඩයාමට හිමිවිය. පුහුණු විධානය හා බටහිර නාවික විධාන කණ්ඩායම් අතර, පැවති කාන්තා අවසන් තරඟය ලකුණු 30-27 ක් ලෙස ජයග්‍රහණය කල පුහුණු විධාන කණ්ඩායම අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2026 හි කාන්තා ශූරතාවය හිමිකරගත් අතර, එහි අනුශූරතාවය බටහිර නාවික විධාන කණ්ඩායමට හිමිවිය.

එමෙන්ම, මෙම තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ උප ලුතිනන් පන්ඩුක ගජමන්ගේ විසින් හිමිකර ගැනීමට සමත්විය. තරඟාවලියේ නැගී එන දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල සාමාන්‍ය නැවි ඒඑම්ඒආර් බණ්ඩාර විසින් ද, නැගීඑන දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය පුහුණු විධානය නියෝජනය කල ශාරීරික අශ්‍යාසක කාන්තා ජියුඑස්එස් ගමගේ විසින් සහ ප්‍රවීණතම ක්‍රීඩකයාට හිමි කුසලානය බටහිර විධානය නියෝජනය කල කපිතාන් අන්තෝනි සෞන්දරාජ් විසින් එහිදී හිමිකර ගැනීමට සමත් විය.

තවද, මෙහි කුසලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පැසිපන්දු සංගමයේ සභාපති කපිතාන් ප්‍රභාත් නානායක්කාර ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

Accessibility Tools