Bart’s Bash Sailing Regatta - 2020 රුවල් යාත්‍රා තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

සිලෝන් මෝටර් යොට් සමාජය මගින් (Ceylon Moter Yacht Club) සංවිධානය කරන ලද Bart’s Bash Sailing Regatta – 2020 රුවල් ඔරු තරඟාවලිය පසුගිය සැප්තැම්බර් 13 වන දින බොල්ගොඩ ජලාශයේදී සාර්ථකව පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය මගින් ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා කොළඹ රාජකීය විද්‍යාලීය රුවල් යාත්‍රා සමාජය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය රුවල් යාත්‍රා සමාජය, කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය (RCYC), Ceylon Moter Yacht Club (CMYC) සහ නාවික හමුදා රුවල් යාත්‍රා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 55 දෙනෙකු රුවල් යාත්‍රා 35ක් සමගින් සහභාගී වූහ.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවන් ලේසර් ස්ටෑන්ඩඩ් (Laser standard) අංශයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන, ජීපී 14 (GP 14) අංශයේ පළමු හා දෙවන ස්ථාන, එන්ටර්ප්‍රයිස් (Enterprise) අංශයේ පළමු, දෙවන හා තෙවන ස්ථාන සහ ලේසර් රේඩියල් (Laser radial) අංශයේ තෙවන සහ සිව්වන ස්ථාන යන ජයග්‍රහනයන් ලබා ගැනීමට සමත් වූහ.