නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2021 උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2021 අද (2021 මාර්තු 09) අත්තිඩිය, ‘ඊගල්ස් ලේක්සයිඩ්’ උත්සව ශාලාවේදී නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

පසුගිය 2017, 2018 සහ 2019 තෙවසර තුළ නාවික හමුදාව නියෝජනය කරමින් විධාන, ආරක්ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා ඉසව් 54ක් අතුරින් ක්‍රීඩා ඉසව් 39ක් තුලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙහිදී වර්ණ ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, පිහිනුම්, දුනු විදීම, ජවන හා පිටිය ඉසව්, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බීච් වොලිබෝල්, ‍කාය වර්ධන, බොක්සිං, කැනොයින්, කැරම්, චෙස්, ක්‍රිකට්, පාපැදි, පාපන්දු, ගොල්ෆ්, අත් පන්දු, හොකී, ජූඩෝ, කබඩි, කරාතේ, ජීවිත ආරක්‍ෂක, යතුරුපැදි ධාවනය, වෙඩි තැබීම, දැල් පන්දු, ඔරු පැදීම, රගර්, රුවල් ඔරු, ස්කොෂ්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප්‍රයාම, කඹ ඇදීම, වොලිබෝල්, බර ඉසිලීම, දියමත ලිස්සා යාම, මල්ලව පොර සහ වූෂූ යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 541 දෙනෙකු වර්ණ ප්‍රධානය සඳහා හිමිකම් ලබා ඇති අතර, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම වර්ණලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරින් 250 දෙනෙකු වෙත අද දින වර්ණ ප්‍ර‍ධානෝත්සවයේදී නාවික හමුදා වර්ණ ප්‍රධානය කරන ලදී. තවද වර්ණලාභී සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නුදුරු දිනකදී අදාල වර්ණ ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය මගින් නාවික හමුදාවේ ක්‍රීඩා සඳහා ලබා දුන් පහසුකම් සහ මග පෙන්වීම් තුලින් උපරිම ඵල නෙලා ගනිමින් නාවික හමුදාවේ කීර්තිය ඉහළ නැංවීමට විශිෂ්ඨ ජයග්‍රහණ ලබා ගනිමින් කටයුතු කළ වර්ණලාභී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණු අතර, ඔවුන් පුහුණු කල ක්‍රීඩා පුහුණුකරුවන් ඇගයීම වෙනුවෙන් පුහුණුකරුවන් වෙතද විශේෂ තිළිණ ප්‍රධානයක් නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

මෙම වර්ණ ප්‍රධාන උත්සවයේදී ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්‍ෂතා දක්වමින් 2019 වර්ෂයේ දකුණු කොරියාවේ දී පැවැත්වු ලෝක කොරියානු තානාපති කුසලාන තරගාවලියේ දී රන් පදක්කමක්ද, නේපාලයේදි පැවැති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ද හිමිකරගත් 2019 වර්ෂයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ‘ලුතිනන් ජේඒ නිශ්ශංක’ හිමි කර ගන්නා ලද අතර, ඔහු විදේශ පුහුණුවක් සඳහා දිවයිනෙන් බැහැරව ගොස් ඇති බැවින් ඔහු වෙනුවෙන් එම කුසලානය ටයිකොන්ඩෝ සංචිතයේ සභාපති විසින් ලබා ගන්නා ලදි.

එමෙන්ම මෙම වර්ණ ප්‍රධාන උත්සවයේදී 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෑන්ඩ් ප්‍රික්ස් තරගාවලියේදී මීටර 800 ඉසව්වේ රන් පදක්කම් 01ක් ද, 2017 වර්ෂයේ ඉන්දියාවේදී පැවති ආසියානු ශුරතාවලියේදී මීටර 800 ඉසව්වේ රිදී පදක්කමද, 2018 වර්ෂයේ ජකර්තා නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 1500 ඉසව්වේ රන් පදක්කමක් සහ මීටර 800 ඉසව්වේ ලෝකඩ පදක්කමක්ද, දිනාගත් ‘කාන්තා බල නැවි ජීඒටී අබේරත්න’ 2017 හා 2018 වර්ෂයන්හි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය නාවික හමුදාධිපතිතුමන්ගේ සුරතින් හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, පසුගිය තෙවසර සඳහා අන්තර් විධාන සමස්ත ශූරයින් වෙනුවෙන් මෙහිදී කුසලාන පිරිනැමූ අතර, ඒ අනුව 2017 සහ 2019 වර්ෂයන් වෙනුවෙන් බටහිර නාවික විධානයද, 2018 වර්ෂය වෙනුවෙන් පුහුණු විධානයද කුසලාන හිමි කරගන්නා ලදී.

ක්‍රීඩාව තුළින් සිදුවන කායික සහ මානසික සංවර්ධනය තුලින් ඕනෑම අභියෝගයක් දිරියෙන් ජයගතහැකි ආත්ම ශක්තිය, ඉවසීම, කැපවීම, විඳදරා ගැනීම, නිරෝගීභාවය සහ උසස් විනය යන ගුණාංගයන්ගෙන් හෙබි මනා පෞරුෂයකින් යුතු ජව සම්පන්න පුද්ගලයෙකු බිහි වේ. ඒ අනුව නාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස ඉටුකළ හැකි උසස් විනයක් සහිත මනා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් යුත් ජවසම්පන්න නාවික පුද්ගලයන් බිහි කිරීම ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුළින් නාවික හමුදාව අපේක්‍ෂා කරයි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම නාවික හමුදා වර්ණ ප්‍රධානෝත්සවය - 2021 අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය, මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රුවන් පෙරේරා, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ඇතුලු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුලු ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.