2022 නාවික හමුදා අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානයට

2022 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ජුනි මස 11 සහ 12 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එම මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගන්නා ලදි.

දෙ‍දිනක් පුරා පැවති මෙම තරගාවලියේ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අනුව කැපී පෙනෙන දක්ෂතා පිළිඹිබු කල පුහුණු විධානය 2022 අන්තර් විධාන මලල ක්‍රිඩා තරඟාවලියේ සමස්ත පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් උතුරු මැද නාවික විධානය විසින් දිනා ගන්නා ලදි.

මෙම තරඟාවලියේදී කාන්තා මිටිය විසිකිරිමේ ඉසව්වෙන් නව අන්තර් විධාන වාර්ථාවක් පිහිටුවීමට කාන්තා සාමාන්‍ය නැවි එල්පීඩබ් තිසරණි සමත් වූ අතර, කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් නව අන්තර් විධාන වාර්ථාවක් පිහිටු වීමට කාන්තා සාමාන්‍ය නැවි පීඒඅයිඑම්පී පෙරේරා සමත් විය. 2022 අන්තර් විධාන මලල ක්‍රිඩා තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නායක නැවි ඩීඑම්එස්එස් දිසානායක විසින් දිනා ගත් අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සාමාන්‍ය කාන්තා නැවි ජීබීඑච්බී ධර්මසිරි විසින් දිනාගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්‍ෂතාවයන් ගෙන් වර්ණවත් වූ 2022 අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහභාගී වූ අතර, එහිදී ජයග්‍රාකයන් වෙත කුසලාන සහ සහතිකපත් ලබාදීම ප්‍රධාන ආරධිතයා විසින් සිදුකෙරිණි. තවද එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයෙහි නියෝජ්‍ය ආඥාපති ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.