පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී නාවික හමුදා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හිදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න 2022 අගෝස්තු 02 වන දින සමත් විය.

ඒ අනුව, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 හි මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ 2022 අගෝස්තු 02 වන දින පැවති මූලික වටයේ තරඟයකදී එම ඉසව්ව විනාඩි 02 තත්පර 01.20 කින් විශිෂ්ඨ ලෙස නිමා කරමින්, මීට පෙර එම ධාවන ඉසව්ව විනාඩි 02 තත්පර 01.44 කින් නිමා කරමින්, ඇය විසින්ම 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාව අභිබවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට නාවික හමුදා ක්‍රීඩිකා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න මෙලෙස සමත් විය.

තවද, මීටර 800, මීටර 1500 සහ මීටර 5000 යන කාන්තා ධාවන ඉසව්වන් ත්‍රිත්වයේම වත්මන් ශ්‍රී ලංකා වාර්තාවන්ට හිමිකම් කීමට කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සමත්ව ඇත.

මීට අමතරව, ඇය 2016 වර්ෂයේ ඉන්දියාවේදි පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 800 හා මිටර් 1500 කාන්තා ධාවන ඉසව්වන්ගෙන් රිදී පදක්කම්ද, 2017 වර්ෂයේ තායිපේ හිදී පැවති තායිපේ සිටි ආසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක්ද, 2017 වර්ෂයේ ටර්කිමිනිස්ථාන් හිදි පැවති ආසියානු ගෘහස්ත ක්‍රීඩා තරඟවලියේදී මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කම්ද, 2017 වර්ෂයේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රිදී පදක්කමක්ද, 2019 වර්ෂයේ නේපාලයේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී මීටර 400 X 4 කාන්තා සහය දිවිමේ ධාවන ඉසව්වෙන් රන් පදක්කම්ද, මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් රීදි පදක්කම්ද, 2019 වර්ෂයේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු මලල තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද දිනාගනිමින් නාවික හමුදාවට මෙන්ම මව්බිමට විශාල ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩිකාවකි. ඇයගේ පුහුණුකරු ලෙස ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, ජිඑල් සජිත් ජයලාල් මහතා කටයුතු කරනු ලබයි.

මේ අනුව, දෙස් විදෙස් ක්‍රීඩා ජයග්‍රහණයන් රැසකට හිමිකම් කියන සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න, 2021 වර්ෂයේ ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 1500 සහ මීටර 5000 යන කාන්තා ධාවන ඉසව්වන්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවන් පිහිටුවමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්කර දුන් කීර්තිය අගයමින් ඇයව දිරි ගැන්වීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම ක්‍රීඩිකාව නායක කාන්තා නැවි තරතිරමේ සිට කාන්තා සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කිරීමට 2021 නොවැම්බර් මස 02 වන දින කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා අගයමින් 2021 වර්ෂයේ පැවති නාවික හමුදා වර්ණ ප්‍රධාන උත්සවයේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය මෙම ක්‍රීඩිකාව වෙත පිරිනැමීමට ද ශ්‍රි ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ජායාරුප අනුග්‍රහය - ශ්‍රි ලංකා ජාතික ඔලිම්පික් කමිටුව