EXTREME SHOT GUN CHALLENGE / IPSC SHOT GUN NATIONALS - 2022 තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රයිෆල් සංගමය සහ ස්කෝපියන් ක්‍රීඩා සමාජය එක්ව තෙවන වරටත් සංවිධානය කරන ලද Extreme shot Gun Challenge සහ IPSC Shot Gun Nationals තරඟාවලිය - 2022 අ‌ගෝස්තු මස 26 වන දින සිට 28 වන දින දක්වා පානළුව යුද්ධ හමුදා වෙඩිපිටියේදී පැවැත්වු අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහිදී, ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා පොලිසිය සහ සිවිල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 158 දෙනෙකු පමණ සහභාගී වන ලද අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීම‍ට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා ප්‍රධාන සුළු නිලධාරී සංජීවනී රොද්‍රිගු Standard Division කාන්තා තරඟ කාණ්ඩය යටතේ සමස්ත තරඟාවලියේ රන් පදක්කම හා තරඟ විනිසුරු කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, එම කාණ්ඩයේම සමස්ත තරඟාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි මධුවන්ති රණසිංහ සමත් විය.

මීට අමතරව, Standard Manual Division කාණ්ඩය යටතේ සමස්ත තරඟාවලියේ ලෝකඩ පදක්කම හා එම කාණ්ඩයේ Shoot off ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක, නායක ගුවන් විදුලි කාර්මික දිලාන් ධනුෂ්ක සමත් වූ අතර, එම තරඟ කාණ්ඩයේම සමස්ත තරඟාවලියේ කණ්ඩායම් අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම සමත් විය.

තවද, වෙඩි තැබීමේ තරඟ ඉසව්වන්ගේ කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් රටට බිහි කර ඇති ශ්‍රි ලංකා නාවික හමුදාව පසුගිය වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවති ඔලිම්පික් තරඟාවලියේ කාන්තා වායු රයිෆල් ඉසව්ව සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරි (සංඥා) ටෙහානී එගොඩවල සහභාගී කරවීමට සමත් විය.