නේපාලයේ පැවති 2022 මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙන් නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් දිනා ගනී

නේපාලයේ පුකාරා (Pokhara) නුවර පැවැත්වූ තුන්වන මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලිය 2022 (03rd Mt. Everest International open Taekwondo Championship – 2022) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා නිසංසලා සඳමාලි රිදී පදක්කමක් මව්බිමට ගෙනදීමට සමත් විය.

2022 සැප්තැම්බර් 19 සිට 28 දක්වා නේපාලයේ පුකාරා නුවර පැවති මෙම ටයිකොන්ඩෝ තරඟාවලියේ කිලෝග්‍රෑම් 62/67 බර පංතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, බලකාන්තා නැවි නිසංසලා සඳමාලි තරඟ කරන ලදි. එහිදී, 2022 සැප්තැම්බර් මස 24 වන දින ඉන්දියාව සමඟ පැවති අවසන් තරඟයෙන් විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රිදී පදක්කමක් දිනාගත් බලකාන්තා නැවි නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව නාවික හමුදාවට සහ මව්බිමට කීර්තියක් ගෙන දීම‍ට සමත් වූ අතර, ටයිකොන්ඩෝ ලෝක ශ්‍රේණිගත කිරීම සඳහා මෙම ජයග්‍රහණය ඉවහල් වේ.

බලකාන්තා නැවි නිසංසලා සඳමාලි, 2017, 2018, 2019 සහ 2021 වර්ෂයන්හීදී කිලෝග්‍රෑම් 62/67 බර පංතිය යටතේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ලද ජයග්‍රහණ වෙනුවෙන් නාවික හමුදා වර්ණ දිනාගැනීමට සමත් වී ඇත. ඇය 2018 වර්ෂයේ බ්‍රසීලයේ පැවති ලෝක සන්නද්ධ හමුදා ටයිකොන්ඩෝ තරඟාවලිය සඳහා මෙන්ම, ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පැවති 18 වන ආසියානු ක්‍රීඩා උළෙලට සහ තායිලන්තයේ බැංකොක් නුවර පැවති 06 වන TIRAK ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම, විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව්බිමට දිනාදීමට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.