‘Intermediate Boxing Championship – 2022’ හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ‘Intermediate Boxing Championship – 2022’, කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී 2022 ඔක්තෝබර් මස 05 සිට 08 දක්වා පැවැත්වුනු අතර, එහිදි රන් පදක්කම් 02 ක්, රීදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

මෙම බොක්සිං තරගාවලිය සඳහා ශ්‍රීලංකා නාවික හමුදාව බර පන්ති හයක් (06) යටතේ ක්‍රීඩකයින් 15 දෙ‍නෙකු සහභාගි කර විමට කටයුතු කෙරිණි.

එහිදී කිලෝග්‍රෑම් 80 ට අඩු බර පන්තිය නි‍යෝජනය කල නායක නැවි පීඑස්පී ‍දේශප්‍රිය සහ කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය නි‍යෝජනය කල නායක සංඥා එම්ජීපීකේපී දයාරත්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුනු බලනැවි බීඑච්ඩීසී ද සිල්වා සහ කිලෝග්‍රෑම් 51ට අඩු බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුනු බල පාබල කේඑම්ජීජී වතුරංග විසින් රිදී පදක්කම් දිනා ගන්නා ලද අතර, තරඟාවලියේ හොඳම පරාජිතයාට හිමි කුසලානයද දිනා ගැනීමට බල පාබල කේඑම්ජීජී වතුරංග සමත් විය.

තවද, කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නියෝජනය කළ බල පාබල එස්අයි රන්මල්, කිලෝග්‍රෑම් 54ට අඩු බර පන්තිය නියෝජනය කළ බලනැවි කේඑච් නවෝද්‍ය සහ කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කළ බල පාබල පීඑම්එම් දීප්තිවර්ධන යන නාවික හමුදා ක්‍රීඩකයින් මෙම තරඟාවලියේදී ලෝකඩ පදකකම් දිනා ගැනීමට සමත් විය.

නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සිදු කෙරෙන සුවිශේෂි වැඩපිළිවෙල හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් හට නාවික හමුදාව වෙනුවෙන් මෙලෙස ජයග්‍රහණ හිමි කර ගැනීමට මහත් පිටුවහලක් වී ඇත.