2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පලඟ’ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය - 2022, කොළඹ තුරඟ තරඟ පිටියේදී 2022 ඔක්තෝබර් මස 08 සහ 09 යන දිනයන්හීදී පැවැත්වුනු අතර, එහිදී යුද්ධ හමුදා රග්බි කණ්ඩායම ලකුණු 26 - 10 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ ‘පළඟ’ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

කොළඹ තුරඟ තරඟ පිටියේ පැවැත්වුනු මෙවර (2022) අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ‘නේවි’ සහ ‘නේවි බ්ලූස්’ වශයෙන් පිරිමි රග්බි කණ්ඩායම් 02ක් සමඟ, එක් කාන්තා රග්බි කණ්ඩායමක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘නේවි’ කණ්ඩායම ‘පළඟ’ ශුරතාවය සඳහා යුද්ධ හමුදා කණ්ඩායම සමඟ තරඟ වැදුනු අතර, එහිදී එක් උත්සාහක දිනුමක් (01) සහ ගෝල දිනුම් 03ක් ලබා ගනිමින් ලකුණු 26-10 ක් ලෙස යුද්ධ හමුදා රග්බි කණ්ඩායම පරාජය කරමින් 2022 අන්තර් සමාජ සත් සාමාජික රග්බි ‘පළඟ’ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

මෙම තරඟාවලියේ ‘බඳුන’ ශූරතාවය සඳහා නාවික හමුදාවේ ‘නේවි බ්ලූස්’ කණ්ඩායම සහ ‘සීආර් ඇන්ඩ් එෆ්සී’ කණ්ඩායම තරඟ වැදුනු අතර, එහිදී එහි අනු ශූරතාවය ‘නේවි බ්ලූස්’ කණ්ඩායමට හිමි විය.

තවද, අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරඟාවලියේ කාන්තා ‘කුසලාන’ ශූරතාවය සඳහා නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සහ යුද්ධ හමුදා කාන්තා රග්බි කණ්ඩායම තරඟ වැදුන අතර එහීදී, එහි අනු ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායමට හිමි විය.

තවද, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම, විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.