08 වන කැරම් ලෝක ශුරතාවලියේදී නාවික හමුදා තරඟකරුවන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනියි

ජාත්‍යන්තර කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 08 වන කැරම් ලෝක ශුරතාවලිය-2022 (08th Carrom World Championship -2022) මැලේසියාවේ ලංග්කාවි හිදී 2022 ඔක්තෝබර් මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර, එම ශුරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදාවේ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු සහ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා විශිෂ්ඨ දක්ෂතා පෙන්නුම් කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවති මෙම ශුරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම අනුශූරතාවය දිනා ගත් අතර, එම කණ්ඩායම් ඉසව්ව නියෝජනය කළ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු එහිදී රිදී පදක්කමක් දිනා ගන්නා ලදී. තවද, මෙම කැරම් ශුරතාවලියේ පිරිමි ද්විත්ව අංශයෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට තෙවන ස්ථානය හිමි වූ අතර, එහිදී බලනැවි නිශාන්ත ප්‍රනාන්දු ලෝකඩ පදක්කමක් දිනා ගන්නා ලදී.

එමෙන්ම, අවස්ථා 11 කදී ප්‍රතිවාදීයාට අවස්ථාවක් නොදී ජයග්‍රහණය කරමින් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ බලනැවි නිශාන්ත ප්‍රනාන්දු, එම ශූරතාවලියේදී ‘Highest Number of Slams’ කුසලානය දිනා ගැනීමට සමත් වීම නාවික හමුදාවට පමණක් නොව ර‍ටටද විශාල කීර්තියක් ගෙන දෙන්නට හේතු විය.

මෙම තරඟාවලියේ කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය හිමි වූ අතර, එහිදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නැවි ජෝශප් රෝෂිටා සමත් විය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය, විශේෂඥ පුහුණු අවස්ථා ලබා දීම ඇතුළු වැඩසටහන් හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව්බිමට හිමි කර දීමට මහඟු පිටිවහලක් ලැබී ඇත.