දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙ‍රුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

ත්‍රිවිධ හමුදාව නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙන ඒමට සුවිශේෂී දායකත්වයක් දක්වයි.

ඒ අනුව, මෙවර දොළොස්වන වරට පැවැත්වෙන 2022/ 2023, ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය මඟින් ත්‍රිවිධ හමුදාවන් හි දක්ෂතා සහිත නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් හඳුනාගැනීමටත් එමඟින්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඉදිරියේදී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟ නියෝජනය කිරීමටත් අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන්, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිදුකෙරෙන විශේෂ වැඩසටහන් මඟින් ආරක්‍ෂක සේවා මට්ටම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය දක්‍ෂතා පෙන්නුම් කිරීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලබා ඇති අතර, එමඟින් ඉදිරියේදී ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ මව්බිමට ගෙනදීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාවට යුද හමුදාධිපති, ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති, ඒයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්ද සහභාගී වී සිටියහ.