12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලියේ පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් නාවික හමුදාව දිනාගනියි

12 වන ආරක්‍ෂක සේවා කඹ ඇදීමේ තරඟාවලිය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී 2022 ඔක්තෝබර් මස 26 සහ 28 යන දිනයන්හීදී පැවති අතර, එහිදී යුද හමුදා කණ්ඩායම් සමඟ පැවති අවසන් තරඟයන්හීදී ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි සහ කාන්තා කඹ ඇඳීමේ කණ්ඩායම් අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.

දොළොස්වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල 2022 ඔක්තෝබර් මස 19 වන දින පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ශවත් අයුරින් ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම තරඟාවලියේ කඹ අදීමේ තරඟ ඔක්තෝබර් 26 සහ 28 දිනයන්හීදී කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පවත්වන ලදි.

එහිදී, ඔක්තෝබර් 26 දින පැවති කඹ ඇදීමේ තරඟයන් හීදී දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ නාවික හමුදා පිරිමි හා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම් විසින් ගුවන් හමුදා පිරිමි හා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම් පරාජය කරමින්, අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ අනුව, ඔක්තෝබර් 28 දින යුද හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් අතර පැවති අවසන් තරඟයෙන් නාවික හමුදා පිරිමි හා කාන්තා කඹ ඇදීමේ කණ්ඩායම් මෙලෙස අනුශූරතාවයන් දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගිවි සිටියහ.