පාකිස්තානයේ පැවති ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ටයිකොන්ඩෝ තරගාවලියකදී නාවික හමුදාවේ නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව ලෝකඩ පදක්කමක් දිනාගනියි

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වුණු ලෝක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන Combaxx 4th Asian Taekwondo Open Championship (WT-G2) ටයිකොන්ඩෝ තරඟාවලියේදී කිලෝග්රෑම් 67 බර පන්තිය නියෝජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල කාන්තා නැවි නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව 2022 නොවැම්බර් මස 03 වන දින නේපාලය සමඟ පැවති තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් නාවික හමුදාවට සහ මව්බිමට කීර්තියක් ගෙන දීම‍ට සමත් විය.

ලෝක ටයිකොන්ඩෝ ශ්‍රේණිගත කිරීම්හි 96 වන ස්ථානයේ සිටින නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව, මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් එම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණෙනු ඇති අතර, ලෝක ටයිකොන්ඩෝ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම ද මෙය වේ.

පසුගිය 2022 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ පුකාරා නුවර පැවති මවුන්ට් එවරස්ට් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරඟාවලියෙදී ද නිසංසලා සඳමාලි ක්‍රීඩිකාව කිලෝග්‍රෑම් 62/67 බර පංතිය යටතේ තරඟ කර, රිදී පදක්කමක් මව් බිමට දිනා දීමට සමත් විය.

එමෙන්ම ඇය 2017, 2018, 2019 සහ 2021 වර්ෂයන්හීදී කිලෝග්‍රෑම් 62/67 බර පංතිය යටතේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ලද ජයග්‍රහණ වෙනුවෙන් නාවික හමුදා වර්ණ දිනාගැනීමට සමත් වී ඇති අතර, ඇය මීට පෙර 2018 වර්ෂයේ බ්‍රසීලයේ පැවති ලෝක සන්නද්ධ හමුදා ටයිකොන්ඩෝ තරඟාවලිය සහ ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවයන් සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇති දක්ෂ ක්‍රීඩිකාවකි.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, විශේෂඥ පුහුණු අවස්ථා ලබාදීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව්බිමට දිනාදීමට මහඟු පිටුවහලක් ගෙනදී ඇත.