ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගනියි

දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි, ආරක්‍ෂක සේවා අත් පන්දු තරඟාවලිය 2022 නොවැම්බර් මස 09,10 සහ 11 යන දිනයන්හීදි මිනුවන්ගොඩ ‘Airport Sports Complex’ හිදී පැවැත්වුනු අතර, එහීදී නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ආරක්‍ෂක සේවා අත් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී, නාවික හමුදා පිරිමි අත් පන්දු කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී. ඒ අනුව, අවසන් තරඟය නාවික හමුදා කණ්ඩායම සහ යුද්ධ හමුදා කණ්ඩායම අතර පැවති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩකයින් දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් ගෝල 35 - 28 ක් ලෙස යුද්ධ හමුදා කණ්ඩායම පරාජය කරමින් මෙලෙස දොළොස්වන (12) ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2022/23 හි ආරක්‍ෂක සේවා අත් පන්දු පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, මෙය දොළොස්වන (12) වන ආරක්‍ෂක සේවා තරඟාවලියේ ශ්‍රී ලංකා නාවික හමුදාව හිමි කරගත් ප්‍රථම රන් පදක්කම ලෙසද සනිටුහන් විය.

අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා අධ්‍යක්‍ෂක ක්‍රීඩා, ‍කොම‍දෝරු රොශාන් අතුකෝරල සහභාගී වූ අතර, තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත හා සුවිශේෂි දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් වෙත පදක්කම් හා කුසලාන පිරිනැමීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, දක්‍ෂතම ප්‍රහාරකයාට හිමි කුසලානය නායක ශාරීරික අභ්‍යාසක ප්‍රසාද් ද සිල්වා විසින්ද, දක්‍ෂතම දැල් රකින්නාට හිමි කුසලානය බලනැවි සංජීව ද සිල්වා විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය නායක නැවි ප්‍රදීප් විජේන්ද්‍ර විසින්ද ප්‍රධාන ආරාධිතයා වෙතින් හිමි කර ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ ක්‍රීඩිකයින් පිරිසක් සහභාගිවි සිටියහ.