අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලියේ සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය දිනාගනියි

නාවික හමුදා අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලිය -2022, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේ දී 2022 නොවැම්බර් මස 17 සිට 19 දක්වා සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී, පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනා ගන්නා ලදී.

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකයේ දින 03 ක් පුරා පවත්වන ලද මෙවර අන්තර් විධාන පිහිණුම් හා දිය පන්දු තරගාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා දැක්වු පුහුණු විධානය නියෝජනය කළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් විසින් පිහිණුම් හා දියපන්දු තරග අංශ දෙකෙහිම පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනාගැනීමට සමත්විය. මෙහිදී, පිරිමි පිහිණුම් අනුශුරතාවය උතුරු නාවික විධානය විසින් දිනාගත් අතර, කාන්තා පිහිණුම් අනුශුරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනිමට සමත්විය. දිය පන්දු තරගාවලියේ පිරිමි අනුශුරතාවය නැගෙනහිර නාවික විධානය විසින් දිනාගන්නා ලද අතර, එහි කාන්තා අනුශුරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගන්නා ලදි.

තවද, අන්තර් විධාන පිහිණුම් තරගාවලියේ දක්ෂතම ආධුනික ක්‍රිඩිකාව ලෙස වයඹ නාවික විධානය නියෝජනය කළ උප ලුතිනන් ඩබ්එස්එන් ජයවික්‍රම විසින් කුසලාන දිනාගන්නා ලද අතර, දක්ෂතම ආධුනික ක්‍රිඩකයා ලෙස පුහුණු විධානය නියෝජනය කළ මධ්‍ය නිළධාරි එච්ආර්එල් පෙරේරා කුසලාන දිනාගන්නා ලදි. අවු 40 ට වැඩි තරගයේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය කොමදෝරු එච්එච්එම්පී ද සිල්වා විසින් දිනාගන්නා ලද අතර, අවු 35 ට වැඩි තරගයේ දක්ෂතම ක්‍රිඩකයාට හිමි කුසලානය සුනි ආර්ඒඑච්එම්ආර්කේ රාජකරුණා විසින් දිනාගන්නා ලදි.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිණුම් තඨාකය පරිශ්‍රයේදී, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් චන්දන රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.