අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 සාර්ථකව නිමාවට පත්වේ

නාවික හමුදා අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 අද (2022 නොවැම්බර් 26) දික්ඕවිට හා උස්වැටකෙයියාව වෙරළ ප්‍ර‍දේශය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වුනු අතර, එහිදී පිරිමි අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය විසින්ද, කාන්තා අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද දිනා ගන්නා ලදී.

නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා, කොමදෝරු රොෂාන් අතුකෝරළ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 65 දෙනෙකු සහභාගී විය. මෙම තුන්ප්‍රයාම තරඟාවලියේදී දික්ඕවිට ධීවර වරාය අසල මුහුදේ මීටර් 750 ක් පිහිණීම, දික්ඕවිට සහ උස්වැටකෙයියාව අතර ප්‍රදේශයේ කිලෝමීටර් 20 ක දුරක් පාපැදියෙන් ගමන් කිරීම සහ කි‍ලෝමීටර් 05 ක දුරක් දිවීම සිදු කෙරිණි.

ඒ අනුව, පිරිමි හා කාන්තා වශයෙන් අංශ දෙකක් යටතේ පැවති අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 හි පිරිමි අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය විසින්ද, කාන්තා අංශයේ ශූරතාවය බටහිර නාවික විධානය විසින්ද හිමි කර ගන්නා ලදී.

තවද, මෙම තරඟාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය පුහුණු නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු නායක කිමිදුම් පීපීආර්ජේ කුමාර විසින්ද, එහි දෙවන ස්ථානය, උතුරු මැද නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු නායක ඉංජිනේරු කාර්මික ජේඑම්එස්අයි බංඩාර විසින්ද, තෙවන ස්ථානය, උතුරු මැද නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු නායක පාබල කේඑම්ජීසීයූ ලක්සිරි විසින්ද හිමි කර ගන්නා ලදී. ‍‍ එමෙන්ම, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය, පුහුණු නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු බල කාන්තා ශාරීරික අභ්‍යාසක ආර්එස්අයිඩී සෙනෙවිරත්න විසින්ද, දෙවන ස්ථානය, බටහිර නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු බල කාන්තා ශාරීරික අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා විසින්ද, තෙවන ස්ථානය, බටහිර නාවික විධානය නියෝජනය කරමින් තරඟ වැදුනු බල කාන්තා ශාරීරික අභ්‍යාසක එම්එච්ඩී භාග්‍යා විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය - 2022 ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම උස්වැටකෙයියාව මාලිමා ක්ලබ් හවුස් උත්සව ශාලා පරිශ්‍රයේ දී නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා විසින් සහ ශ්‍රී ලංකා නාවික ‍නෞකා කැළණි ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් සුනන්ද අප්පුහාමි විසින් සිදු කෙ‍රිණි.