සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022 හි පිරිමි ‘ඒ’ කාණ්ඩ‍යේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

මහනුවර සීතාදේවි කාන්තා විද්‍යාලය සහ සීතාදේවි ක්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ලද, සීතාදේවි සය සාමාජික හොකී තරඟාවලිය - 2022, මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 2022 දෙසැම්බර් මස 17 සහ 18 දිනයන්හීදි සාර්ථකව පැවැත්වුනු අතර, එම තරඟාවලියේ පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය හිමි කර ගැනීමට නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් විය‍.

දෙදිනක් පුරා පැවති මෙම සය සාමාජික හොකී තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 24 ක් සහ කාන්තා කණ්ඩායම් 11 ක් මෙන්ම පාසල් බාලක බාලිකා කණ්ඩායම් ඇතුළුව කණ්ඩායම් 47 ක් සහභාගී වී සිටින ලදී. එ අනුව මෙම තරඟාවලිය පුරා ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ නාවික හමුදා පිරිමි හොකී ‘ඒ’ කණ්ඩායම අවසන් තරඟයේදී පොලිස් හොකී කණ්ඩායම 02 – 01 වශයෙන් පරාජය කරමින් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩ‍යේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේදී නායක නැවි කේඑන්ඩී ද සිල්වා සහ ගුවන් විදුලි කාර්මික ආර්එම්එම්ඩී රත්නායක ගෝල හිමි කර ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ විරයා සම්මානය නායක නැවි කේඑන්ඩී ද සිල්වා විසින් හිමි කර ගන්නා ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා ජාතික හොකී සංගමයේ සභාපති පී විශ්වනාදන් මහතා ඇතුළු දිවයිනේ ප්‍රකට හොකී ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ.