12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2022 දෙසැම්බර් මස 22 වන දින පොළොන්නරුව ජාතික ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති 12 වන ආරක්‍ෂක සේවා බර ඉසිලීමේ තරඟාවලියේදී පිරිමි හා කාන්තා බර ඉසිලීමේ ශූරතාවය නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම බර ඉසිලීමේ ක්‍රීඩකයාට හිමි කුසලානය, පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ පදක්කම්ලාභී නාවික හමුදා ක්‍රීඩක, නායක නැවි ඩීඑම්අයිසී දිසානායක විසින් හිමි කර ගන්නා ලදී.

ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන ලද, පිරිමි සහ කාන්තා වශයෙන් අංශ දෙකක් යටතේ පැවති මෙම තරඟාවලියේදී, නාවික හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් බර පංති 07 ක් යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයින් එහිදී, රන් පදක්කම් 05 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 73,89,96,102 සහ109 ට වැඩි බර පංතිය යටතේ පිළිවෙලින් තරඟ වැදුනු නායක නැවි ඩීඑම්අයිසී දිසානායක, සාමාන්‍ය නැවි වීසීජී විතාරගේ, සාමාන්‍ය නැවි එස්ඩීඅයියූ සේනාධීර, සාමාන්‍ය නැවි එස්එම් පීටර්ස් සහ සාමාන්‍ය නැවි ඩබ්පීයූ චාරුක රන් පදක්කම් දිනා ගන්නා ලද අතර, කිලෝ ග්‍රෑම් 109 ට වැඩි බර පංතිය යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය නැවි ඩබ්පීජීඩීඑස් ජයවික්‍රම රිදි පදක්කමක්ද කිලෝ ග්‍රෑම් 67 සහ 109 බර පංතිය යටතේ තරඟ වැදුනු නායක නැවි ඊඒඩීකේඒ එගොඩවත්ත හා නායක නැවි එම්ඩීඒසී පුෂ්පකුමාර විසින් ලෝකඩ පදක්කම්ද දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ බර පන්ති 07 ක් යටතේ තරඟ වැදුනු නාවික හමුදා බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත් විය. ඒ අනුව, කිලෝ ග්‍රෑම් 45,55,59,87 සහ 87 ට වැඩි බර පංති යටතේ පිළිවෙලින් තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ජේජීයූආර් ගුණතිලක, සාමාන්‍ය කාන්තා නැවි කේඑම්ඩීපී ඉෂානී, බල කාන්තා නැවි ඩබ්සීඑම් වර්ණකුලසූරිය, බල කාන්තා නැවි බීසී ප්‍රියන්ති සහ සාමාන්‍ය කාන්තා නැවි ඩිඑම්එච්පී දිසානායක රන් පදක්කම් දිනා ගන්නා ලදී. එමෙන්ම, සාමාන්‍ය කාන්තා නැවි එස්එස් කුමාරසිංහ සහ බල කාන්තා නැවි එම්එම්ඩී හරිස්චන්ද්‍ර පිළිවෙලින් කිලෝ ග්‍රෑම් 76 හා 87 බර පංති යටතේ තරඟ වැදී රිදි පදක්කම් දිනා ගත් අතර, කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එච්එන්කේ ප්‍රනාන්දු විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.