‘Commandant’s Cup Sailing Regatta - 2023’ ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි.

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 ජනවාරි මස 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රිකුණාමලය, ඇතුල් වරාය මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2023 ජනවාරි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) අධීක්‍ෂණය යටතේ ILCA 6 (Laser Class), Enterprise, Open Champion සහ Cup Champion වශයෙන් කාණ්ඩ හතරක් යටතේ තෙදිනක් පුරා පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා චීනය, ඉන්දියාව, ඉතාලිය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් නාවික විද්‍යාපීඨයන්හී පුහුණුවන නිලධාරීන් 27 දෙනෙකු සහභාගී විය.

ඒ අනුව, ILCA 6 (Laser Class) කාණ්ඩයේ රන් පදක්කම ඉතාලිය නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී Gianpaolo Gusella විසින් දිනාගන්නා ලද අතර, එහි රිදී පදක්කම චීනය නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී Dai Wenbo විසින්ද, ලෝකඩ පදක්කම ඉන්දියාව නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී Varad C Haridas විසින්ද දිනාගන්නා ලදි.

Enterprise කාණ්ඩයේ රන් පදක්කම ඉන්දියාව නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී PPK Reddy සහ ශිෂ්‍ය භට නිලධාරී GY Reddy විසින් දිනාගන්නා ලද අතර, එහි රිදී පදක්කම ඉතාලිය නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී Mario Giacummo සහ ශිෂ්‍ය භට නිලධාරී Francesco Maria Gigante විසින්ද, ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කල උප ලුතිනන් වීපීඒ සසංක සහ උප ලුතිනන් ඩබ්එම්ඩීඒකේ රත්නායක විසින්ද දිනාගන්නා ලදි.

Open Champion කාණ්ඩයේ රන් පදක්කම ඉතාලිය නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී Mario Giacummo, ශිෂ්‍ය භට නිලධාරී Francesco Maria Gigante සහ ශිෂ්‍ය භට නිලධාරී Gianpaolo Gusella විසින් දිනාගන්නා ලද අතර, එහි රිදී පදක්කම ඉන්දියාව නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී PPK Reddy, ශිෂ්‍ය භට නිලධාරී GY Reddy සහ ශිෂ්‍ය භට නිලධාරී Varad C Haridas විසින්ද ලෝකඩ පදක්කම චීනය නි‍යෝජනය කළ ශිෂ්‍ය භට නිලධාරී Dai Wenbo විසින්ද දිනාගන්නා ලදි.

Cup Champion කාණ්ඩයේ රන් පදක්කම ඉන්දියාව නියෝජනය කල ශිෂ්‍ය භට නිලධාරී PPK Reddy, ශිෂ්‍ය භට නිලධාරී GY Reddy සහ ශිෂ්‍ය භට නිලධාරී Varad C Haridas විසින් දිනාගන්නා ලද අතර, එහි රිදී පදක්කම චීනය නි‍යෝජනය කළ ශිෂ්‍ය භට නිලධාරී Chen Lei, ශිෂ්‍ය භට නිලධාරී Tian Chen සහ ශිෂ්‍ය භට නිලධාරී Dai Wenbo විසින්ද, ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කල උප ලුතිනන් වීපීඒ සසංක, උප ලුතිනන් ඩබ්එම්ඩීඒකේ රත්නායක සහ උප ලුතිනන් ඒඑච්ජීසී ද සිල්වා විසින්ද දිනාගන්නා ලදි.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ‘Commandant’s Cup Sailing Regatta - 2023’ සඳහා සහභාගීවූ විදේශීය කණ්ඩායම් වෙත සිය ස්තූතිය පළකරමින් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ප්‍රථමයෙන් ශුභාසිංෂණ පිරිනමන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, තරඟකාරී වාතාවරණයක මුහුදේ යාත්‍රා හසුරවමින් ජයග්‍රහණය වෙත ළඟාවීම සඳහා විවිධ උපාය උපක්‍රම ප්‍රගුණ කරවනු ලබන මෙවැනි තරඟාවලි මඟින්, නාවික පුද්ගලයන්ගේ ජවය නිරතුරුව පවත්වා ගැනීම සඳහාත්, විදේශීය තරඟකරුවන් ගේ හැකියාවන් හා අත්දැකීම්ර තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් ගේ හැකියාවන් වැඩිදියුණු කරගැනීම උදෙසාත් මහත් පිටුවහලක් වන බව පවසන ලදි.

එමෙන්ම ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය තුල රුවල් යාත්‍රා ඇතුළු අනෙකුත් ජල ක්‍රීඩා සඳහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරමින් නාවික හමුදාව තුල ජල ක්‍රීඩාවක් ලෙස රුවල් යාත්‍රා තරඟ ප්‍රචලිත කිරීමට සිදුකල දායකත්වය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාධිපතිවරයෙකු මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීවරයෙකු ලෙස කටයුතු කල අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) වෙත කෘතවේදීත්වය පලකළ නාවික හමුදාධිපති, රුවල් යාත්‍රා තරඟ නාවික හා සාගරික විද්‍යා පීඨය තුල ආරම්භ කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කල කොමදෝරු කළණ ජිනදාස (විශ්‍රාමික) වෙතද සිය කෘතඥතාවය පලකරන ලදි.

තවද, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව නාවික තඨාකාංගණයේ ඇති පහසුකම් රුවල් යාත්‍රා සංචාරක ක්‍ෂේත්‍රය ඇතුළු අනෙකුත් ජල ක්‍රීඩා සඳහා ඉදිරියේදී ඉතා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකියාව ඇති බව පැවසූ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරීම සම්බන්ධයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු කාර්යය මණ්ඩලය වෙත සිය ප්‍රශංෂාව පල කරන ලද අතර, ඉදිරියේදී වඩා වැඩි විදෙස් කණ්ඩායම් සහභාගීත්වය සහිතව සහ ජල ක්‍රීඩා කිහිපයක එකතුවකින් යුත් මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීමට අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.

මෙම අවස්ථාවේදි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු ඩේමියන් ප්‍රනාන්දු විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කොමදෝරු කළණ ජිනදාස (විශ්‍රාමික) සහ මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා දායක වූ ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) සාමාජිකයන් වෙතද, සමරු තිළිණ ලබාදීමට කටයුතු කෙරිණි.