හතර වන ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලියේ කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාවට

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මීගමුව වෙරළ තීරයේදී පැවති හතර වන ලෝක ආරක්‍ෂක සේවා වෙරළ අත්පන්දු (Beach Volleyball) තරඟාවලියේ 2023 පෙබරවාරි මස 17 වන දින පැවති කාන්තා අංශයේ අවසන් මහා තරඟයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

2023 පෙබරවාරි මස 11 වන දින සිට 17 වන දින දක්වා මීගමුව වෙරළ තීරයේදී පැවති හතරවන ලෝක වෙරළ අත්පන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුලුව ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, කොලොම්බියාව, ඕමානය, සෞදි අරාබිය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවී සිටි අතර, එහි කාන්තා අවසන් මහා තරඟය 2023 පෙබරවාරි මස 17 වන දින මීගමුව වෙරළ තීරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම තරගාවලියේ මූලික වටයේ තරග සදහා සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම කාන්තා අවසන් මහා තරගය සදහා තේරී පත් වුනි. එහිදී, ශ්‍රී ලංකා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කල නාවික හමුදාවේ සාමාන්‍ය කාන්තා නැවි එම්ජීඩී බංඩාර සහ සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී සහ ප්‍රංශ කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන්, තරඟාවලියේ සමස්ථ අනුශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා වෙරළ අත්පන්දු කණ්ඩායම සමත් විය.

ඵමෙන්ම, ලෝක ආරක්ෂක සේවා වෙරළ අත්පන්දු තරඟාවලිය තෙවතාවක් නියෝජනය කල ක්‍රීඩිකාව ලෙස සාමාන්‍ය කාන්තා නැවි ඒකේටී ලක්‍ෂාණී වෙත විශේෂ පදක්මක් පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල්, රියර් අද්මිරාල් විජිත මාරපන, ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළ අත්පන්දු සංචිතයේ සභාපති කපිතාන් රංජිත් වල්ගම්පාය, ශ්‍රී ලංකා නාවික හමුදා වෙරළ අත්පන්දු සංචිතයේ සහ ලෝක ආරක්‍ෂක සේවා කණ්ඩායම් නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ‍ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.