ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් දින මාර්ග ධාවනය - 2023 කොළඹදී පැවැත්වේ

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින (Council International Military Sports-CISM ) සැමරුම් මාර්ග ධාවනය - 2023, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (2023 පෙබරවාරි 18) කොළඹදී පැවැත්වුනු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය පෙරදැරිව 1948 වර්ෂයේ පෙබරවාරි මස 18 වන දින ආරම්භ වී ඇති ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය (CISM) ලොව විශාලතම බහුවිධ සංවිධානයක් වන අතර, එය සාමාජික රටවල් 140 ක සන්නද්ධ හමුදාවන් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරනු ලබන සහ ලොව විශාලතම ක්‍රීඩා ඉසව් සංඛ්‍යාවක් නියෝජනය කරනු ලබන ගෝලීය ක්‍රීඩා සංවිධානයකි.

මෙවර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවිධායකත්වයෙන් පවත්වන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය, කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී කිලෝ මීටර 04ක පමණ දුරක් ආවරණය කරමින් ගුවන් හමුදා මුලස්ථානය අසලින් නිමාවට පත් විය. මෙම මාර්ග ධාවනය සඳහා සහභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීම එහිදී, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙම මාර්ග ධාවනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් මෙන්ම, ආබාධිත රණවිරුවන් පිරිසක් ද සහභාගි වී සිටියහ.