12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය නාවික හමුදා කණ්ඩායම දිනා ගනියි

12 වන ආරක්ෂක සේවා දැල් පන්දු තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මාර්තු මස 01 වන දින සිට 03 වන දින දක්වා වැලිසර නාවික පරිශ්‍රයේ, කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ත ක්‍රීඩාගාරයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී යුද හා ගුවන් හමුදා කණ්ඩායම් පරාජය කරමින් නාවික හමුදා කණ්ඩායම, 12 වන ආරක්ෂක සේවා දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, 2023 මාර්තු මස 01 වන යුද හමුදාව සහ නාවික හමුදාව අතර පැවති තරඟය ලකුණු 49-59 ක් ලෙස නාවික හමුදා කණ්ඩායමද, 2023 මාර්තු මස 03 වන නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර පැවති තරඟය 49-46 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ද ජය ගත් අතර, තරඟාවලියේ සමස්ථ ලකුණු සටහන අනුව ශූරතාවය නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා සහභාගී වූ අතර, එහිදී ජයග්‍රාහක කණ්ඩායම වෙත කුසලානය, පදක්කම් සහ සහතික පිරිනැමීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

ඒ අනුව, තරඟාවලියේ දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස නාවික හමුදා කණ්ඩායමේ සාමාන්‍ය කාන්තා නැවි එච්එම්එස්ආර් වෙලගෙදර තේරි පත් වූ අතර, තරඟාවලියේ දැල් පන්දු රැජින ලෙස නායක කාන්තා නැවි බීඑච්එල් මෙන්ඩිස් විසින් ප්‍රධාන ආරාධිතයා වෙතින් කිරුළු පළදින ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරල ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් සහභාගී වී සිටියහ.