‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාක දූප‍තේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘National Sailing Championship - 2023’ තරඟාවලිය 2023 මාර්තු මස 05 සහ 06 යන දිනයන්හීදි මට්ටක්කුලිය, කාක දූප‍තේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති ‘National Sailing Championship - 2023’ තරඟාවලිය කාණ්ඩ 07 ක් යටතේ පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට රුවල් ඔරු සමාජ හතක් (07) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසුනව දෙනෙක් (89) සහභාගී වූ අතර, මේ සඳහා යාත්‍රා හැටනවයක් (69) එක් විය.

ඒ අනුව, Laser Radial කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා කණ්ඩායමේ නායක නැවි ජේඑස් සෙනෙවිරත්න විසින්ද, එහි ලෝකඩ පදක්කම සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින්ද දිනා ගැනීමට සමත් විය. Laser Standard කාණ්ඩයේ රිදී පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි එන්ජීඑම්යූ ඥාණවර්ධන විසින්ද, එහි ලෝකඩ පදක්කම ප්‍රධාන සුළු නිලධාරි කේජීසීයූඑස් බංඩාර විසින්ද දිනා ගැනීමට සමත් විය. Wind Surfing කාණ්ඩයේ රන් පදක්කම සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින්ද, එහි ලෝකඩ පදක්කම නායක නැවි කේපීපී ගුණවර්ධන විසින්ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, Enterprise කාණ්ඩයේ රන් පදක්කම නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි කේඑස්කේ ද සිල්වා විසින්ද, එහි රිදී පදක්කම නායක පාබල ජේඑච්එම්පීඅයි ජයපත්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින්ද, එහි ‍ලෝකඩ පදක්කම නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා සහ බල නැවි එල්ඒසීඑම් ගුණතිලක විසින්ද දිනා ගැනීමට සමත් විය. GP 14 අංශයේ රන් පදක්කම සමුහ ප්‍රධාන සුළු නිලධාරි ජේඑම්පීඑල් ජයසූරිය සහ බලනැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද, එහි රිදී පදක්කම නායක නැවි ඩබ්ඒඩීආර් කුමාර විසින් සහ නායක ඉංජිනේරු කාර්මික ජීපීඑස් ද සිල්වා විසින්ද, එහි ලෝකඩ පදක්කම නායක නැවි කේසී ද සොයිසා සහ නායක පාබල ජීපීපී කරුණාරත්න විසින්ද දිනා ගැනීමට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ‘National Sailing Championship - 2023’ සඳහා සහභාගී වූ රුවල් ඔරු ක්‍රීඩා සමාජ වෙත සිය ප්‍රණාමය පළකරමින්, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ප්‍රථමයෙන් සුභාෂිංශණ පිරිනමන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ පුරවැසියන් හට ජලතරණය උරුමයෙන්ම ලැබී ඇති බවත්, ශ්‍රී ලංකාව අතීතයේ සිටම සාම්ප්‍රදායික යාත්‍රා මඟින් ජලතරණය සිදු කර ඇති බවත් පවසන ලදී. එමෙන්ම, මෙවැනි තරඟාවලි මඟින් අභියෝග භාර ගත හැකි තරුණ යාත්‍රිකයන් පිරිසක් බිහිවීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද මහඟු පිටුවහලක් වන බව ප්‍රකාශ කර සිටින ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සභාපති කපිතාන් දුමිදු අබේවික්‍රම ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.