‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ ශූරතාවය බටහිර නාවික විධානය දිනා ගනියි

‘අන්තර් විධාන පාපන්දු තරඟාවලිය - 2023’ මෙවර වැලිසර නාවික පරිශ්‍රයේ පාපන්දු ක්‍රීඩා පිටියේදී 2023 මාර්තු මස 17 වන දින සිට 23 වන දින දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පාපන්දු තරඟාවලිය, 2023 මාර්තු මස 17 වන දින සිට දින 07 ක් පුරා වැලිසර නාවික පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වුනු අතර, ඒ සඳහා සියළුම විධාන නියෝජනය කරමින් තරඟාවලිය සදහා පාපන්දු කණ්ඩායම් සහභාගී විය.

තරඟාවලියේ අවසන් මහා තරඟය 2023 මාර්තු මස 23 වන දින බටහිර නාවික විධානය සහ නැගෙනහිර නාවික විධානය අතර පැවැත්වුණු අතර, එහිදී කණ්ඩායම් දෙක දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් 02-02 ක් ලෙස සම ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව, 05-04 ක් ලෙස දඬුවම් පහර සාර්ථක කරගත් බටහිර නාවික විධාන කණ්ඩායම මෙලෙස ‍2023 අන්තර් විධාන පාපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරඟාවලියේ අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින්ද, වයඹ නාවික විධානය සහ පුහුණු විධානය අතර පැවති තරඟයෙන් 02-01 ක් ලෙස ජයග්‍රණය කරමින් තරඟාවලියේ තෙවන ස්ථානය වයඹ නාවික විධානය විසින්ද දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම තරඟාවලියට සමගාමීව විශ්‍රාම ලත් සහ සේවයේ නියුතු ප්‍රවීණයන්ගේ පාපන්දු තරඟාවලියක්ද පැවැත්වුනු අතර, එහි ශූරතාවය 02-01 ක් ලෙස දිනාගැනීමට විශ්‍රාමලත් ප්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම සමත් විය.

බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා‍‍ ‍ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් දින ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.