ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2023 හීදි රන් පදක්කම් 10 ක්, රීදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 06 ක් දිනාගනිමින් තරගාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

2023 මැයි මස 24 වන දින සිට 26 වන දින දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී (Royal MAS Boxing Arena) පැවැති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රිඩා සමාජ රැසක් සහභාගී වී සිටි අතර, ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 26 දෙ‍නෙකු මේ සඳහා සහභාගීවිය.

එහිදී, කිලෝ ග්‍රෑම් 51, 57, , 60, 63.5, 92 සහ 92 ට වැඩි, යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලපාබල එස්අයි රන්මල්, බලනැවි ඒඑස් ප්‍රියංකර, බලනැවි එස්ජීඩීඑස් බංඩාර, නායක පාබල වීඑම්එම් දීප්තිවර්ධන, බලනැවි ජේපී කෞෂල්‍ය සහ බලනැවි පීඒආර්එල් විනෝද් යන ක්‍රීඩකයින් සහ කිලෝ ග්‍රෑම් 48, 50, 60, 81 යන බර පංති යටතේ පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලකාන්තා නැවි ඒඒකේ කවීෂා, බලකාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර, බලකාන්තා නැවි එල්ආර්එස් සසංගි සහ බලකාන්තා නැවි එච්එම්එච්පී ජයකොඩි යන ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 54, 75 සහ 80 යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බල පාබල බීඕඕකේඅයිසී ප්‍රභාත්, බලනැවි එච්එම්එස්පී හේරත් සහ බලනැවි එස්එම්ටීඩීබී සමරසේකර යන ක්‍රීඩකයින් රීදී පදක්කම් ද, කිලෝ ග්‍රෑම් 48, 67, 71, 52, 54 සහ 57 බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බලනැවි ඩබ්පී අරවින්ද, බලනැවි බීඒයූ බුලත්ගේ, ආධුනික නැවි ආර්එම්එම්කේ රත්නායක, සාමාන්‍ය කාන්තා නැවි ආර්එම්එස්එස් රත්නායක, බලකාන්තා නැවි ආර්එම්වයිඩීබී මැණිකේ සහ සාමාන්‍ය කාන්තා නැවි කේඒඩීඒඑස් ජයලත් යන ක්‍රිඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම්ද දිනා ගැනීමට සමත් විය.

තවද, කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලනැවි ඒඑස් ප්‍රියංකර විසින් දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය සහ කිලෝග්‍රෑම් 50 බර පංතිය යටතේ ක්‍රීඩා කල බලකාන්තා නැවි කේඑම්එම්ජේ කෝනාර විසින් දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හිමිකර ගත් අතර, ආධුනික බොක්සිං තරගාවලිය - 2023 පුරා කැපීපෙනෙන දක්‍ෂතා පෙන්වමින් එම තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත්විය.